මිරිගම නගරයේ ජංගම දුරකතන වෙළද සලක් හා කරවල වෙළදසලක් කඩා රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනා ස්මාර්ට් දුරකතන අටක් හා මුදල් රැගෙන පොලොන්නරුව බලා පලායමින් සිටි තරුණ වියේ පසුවන ‘අල්කයිඩා' මස්සිනාවරු දෙපළක් සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට මිරිගම පොලිසිය 27 දා  සමත්විය. 
මෙසේ අත්අඩංගුවට ගැනුණේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිචි 16 හැවිරිදි තරුණයකු හා ඔහුගේ මස්සිනා බව කියන පොලොන්නරුවේ පදිංචිකරුවකු වන 22 හැවිරිදි පුද්ගලයෙකි. 16 හැවිරිදි තරුණයා කලක් පැවිදිව සිට උපැවිදිවූ අයකු බව හෙළිවී ඇතැයි පොලිසිය කියයි.  


මීරිගම බස්නැවතුම්පොළ සමීපයේ ජංගම දුරකතන  වෙළෙදසලක් විවෘත කරද්දී එහි පිටුපස ජනේලය කඩා ඇතුළුවී  එහි අලුත්වැඩියාව සදහා බාරගෙන තිබූ ස්මාට් වර්ගයේ දුරකතන  සොරාගෙන ගොස් ඇති බව හෙළිවීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇත. අලුත් දුරකතන තිබූ කොටසට යාමට එහි වූ යකඩ දොරක් විවෘත කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථව ඇති බවද මූලික පරික්ෂණවලදී හෙළිවී ඇත.  සැකකරුවකු ජලය කඩා ඇතුළුවන අන්දම ආරක්ෂිත කැමරාවේ සටහන්වී ඇති අතර ඒ අනුව සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය පියවර ගනු ලැබීය.  මේ අතර ඒ ආසන්නයේ පිහිටි කරවල කඩයේද පිටුපසින් ඇතුළුව එහි තිබූ මන්නයක් හා මාරු කාසි බෑගයක් සොරාගෙන ඇති බවටද පොලිසියට පලදා 27 වැනිදා උදේ පැමිණිල්ලක් ලැබිණි.


සැකකරුවන් අල්කයිඩා නාමයෙන් හදුන්වන පවුලක සාමාජිකයන් බවද එම පවුලේ පිරිස් නිතර සොරකම්වල යෙදෙන බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් පොල් කැඩිමේ යෙදෙමින් තොරතුරු බලාගෙන සොරකම් කිරීම සිරිතක් කරගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි. සැකකරුවෝ ඊයේ 28 අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.