කොරෝනා රෝග තත්ත්වය පාලනය කරගැනිමට සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති නිතිපතිට පටහැනිව ජනතාව දිගින් දිගටම කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය කටයුත්තක්, මරණයක් සිදුවූ දිනට පසුදින අවසන් කළයුතු බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තීරණය කෙරුණි කොරෝනා රෝග තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්රනාන්දුපුලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් සාකච්ඡාව පැවති අතර මෙහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගනු ලැබිය.
සාමාන්‍ය මරණයක් සිදු වූ විට සෞඛ්‍ය අංශ මගින් දැනුම් දී ඇති උපරිමය 50 දෙනකු පමණක් සහභාගි විය යුතු බවට පනවා තිබෙන සීමාව නොසලකා හරිමින් විශාල පිරිසක් අවමංගල්‍ය කටයුතු සඳහා එක්රැස් වන බවට සහ දින කිහිපයක් දේහය තබාගන්නා බවට ජනතා නියෝජිතවරු සහ සෞඛ්‍ය අංශ නිලධාරීහු මෙම සාකච්ඡාවේදී උදාහරණ ඉදිරිපත් කරමින් පෙන්වා දුන්හ. යම් ප්‍රදේශයක මරණයක් සිදු වූ සැනින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුම්වත් කළ යුතු බවටත් ග්‍රාම නිලධාරි විසින් අදාළ මහජන සෞඛ්‍ය පරික්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කළ යුතු බවටද තීරණයක් ගනු ලැබූ අතර මෙය දැඩිව ක්‍රියාත්මක කිරීමටද තීරණය කෙරීණ.
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය සඳහන් කර සිටියේ, ගම් ප්‍රදේශවල විවිධ උත්සව සහ රැස්වීම් පවා මහජන සෞඛ්‍ය පරික්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දැනුවීමකින් තොරව පැවැත්වෙන අවස්ථා පවතින බැවින් ග්‍රාම නිලධාරින් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සුදුසු වන බවය. මෙම දිනවල කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානම් සහිත තත්ත්වයක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබූ අතර කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූ පසුගිය ඔක්තෝබර් මස 4 වැනිදා සිට ඉකුත් 14 වැනිදාට ආසාදිතයින් 8855 දෙනකු හමුව ඇති බවත් පුද්ගලයන් 1,39,266 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට භාජනය කොට ඇති බවත් කීය.
දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ 28 ක් සිදුව ඇති අතර හය දෙනකු වන වැඩිම මරණ ගණන මහර කොට්ඨාසයෙන් වන බව සඳහන් කළ අධ්යක්ෂවරයා, දෙවන රැල් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමුව ඇති බවද පෙන්වා දෙනු ලැබීය. මෙහිදී රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල් මහත්මිය සඳහන් කර සිටියේ, මෙරට පී.සී.ආර්. පරීක්ෂවන් සඳහා දිනකට රුපියල් මිලියන 60 ක් වැය කරන බවත් කෝවිඩ් 19 මර්දනය පිණිස දැනට රට තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙළ මත මරණ අනුපාතය අවම රටක් ලෙස ලංකාව පවත්වාගෙන යාමට හැකිව ඇති බවය. දිසාපති සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කොට සිටියේ පසුගිය ඔක්තෝබර් මස 4 වෙනි දින සිට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සහනාධාර සඳහා රුපියල් මිලියන 3000 ක් සහ මෙම වසරේ දින කිහිපයට මිලියන 18 ක මුදලක් වැය කොට ඇති බවය.
රෝහල වෛද්‍යවරුන්ගේ සහ මහජන සෞඛ්‍ය පරිකවරුනේගේ හිගයක් පවතින බවත් වාහන අවශ්‍යතාවක් පවතින බවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ගම්පහ පුරපති එරංග සේනානායක, ගම්පහ ප්‍රාදේශිය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන, දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර යන මහත්වරුන්ද අදහස් දැක්වූ අතර එම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ගාමිණී ධර්මසේන, අතිරේක දිසාපති සුගත් කිත්සිරි, දිස්ත්‍රික් ගණකාධිකාරි වී.ඩී.එස්. රොඩ්රිගෝ යන මහත්වරුන්ද, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් හා යුද හමුදා නිලධාරින් ඇතුළු සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීහු පිරිසක් ද එක්ව සිටියහ.
-තිලකරත්න දිසානායක-
0 Comments