2021ට පා නගන විට 2021 යනු අලුත් අවුරුද්දක් ලෙස දකිනවාට වඩා 2021 වෙනස් වූ අවුරුද්දක් ලෙස හැදින්විය හැක. නිවසේ සිට වූවත් අපට ලෝකයට යාමට හැකි බව 2021දිවත් අප සිතට ගත යුතුය. 

මන්ද ඒ ගෙවුණු 2020 වසරේදී අපට එහි අත්දැකීම් යම් ප්‍රමාණයකින් ලැබුණු නිසාය. විශේෂයෙන්  මෙහිදී රටේ ආර්ථිකය පසුබෑමකට ලක්වමින් තිබෙන තවකවානුවකට එය නගා සිටුවීමට නිවසේ සිට පුද්ගලයාට සිදුකළ හැකි දෑ සෙවීමට හැකිය. මෙය තාක්ෂණය සමග නිවසිට වෙළදපොළේ ඉඩක් වෙන් කර ගනුයේ කෙසේද? යන්න පිළිබදව වෙනස්ව සිතිය හැකි වසරකි. මෙහිදී අක්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට එහා ගොස් සේවා සැපයිය  හැකි බවද අප සිහි තබාගත යුතුය. ඒ සඳහා 2020දී පුද්ගලයා තුළ පැන නැගුණු සාමානාත්මක  ආකල්පයෙන් ඉවත්ව ධනාත්මක ආකල්පයත් සඳහා හුවමාරු වියයුතුය.

තිස් වසරක යුද්ධයක් අවසන් වූ පසු යුද්ධයක් නැතයි සිතා අපි ජිවත් වීමු. නමුත් මේ වනවිට ලෝකයේම තවත් යුද්ධයක් ආරම්භ වී ඇත.
අප  නොසිතන ආකාරයේ ආර්ථික යුද්ධයක් නිර්මාණය වෙමින් පවතී. මෙම ආර්ථික යුද්ධයට ජාතිය,  ආගම, වර්ගය, කුලය අදාළ නොවේ. එහිදී අප මුදල්  පරිහරණය කිරීම පිළිබදව විමසිලිමත් විය යුතුය. මීට පෙර අප විසින් සිදු කළේ වියදම් කර, අනෙක්වා ඉතිරි කිරීමය. නමුත් තවදුරටත් එලෙස ජිවත් විය නොහැකිය. ඉදිරියේදී අප ඉතිරිකර  වියදම් කිරීමට හුවමාරු විය යුතුය.
ගෙවුණු වසරේදී පවුලක අයවැය පිළිබදව නැවත මතක් කර බැලුවහොත් අප කොපමණ වියදම් සීමා කලාද යන්න අවබෝධ වනු ඇත. අප අවශ්‍ය යැයි සිතා වියදම් කළ අනවශ්‍ය වියදම් කොපමණ කපා හැර තිබුණද යන්න අවබෝධ කරගත හැකිය. එමගින් එම න්‍යායම 2021දී පමණක් නොව ඉදිරියට ගෙන යා හැකිය. . මේ වනවිට අප ආනයනික භාණ්ඩ සීමා කර තිබේ. එහිදී අපනයනය සිදු කරනවා සේම ආනයනික භාණ්ඩ වෙනුවට ආදේශකයන් නිෂ්පාදනය කළ හැකිද යන්න කල්පනා කළ යුතුය.


කෝවිඩ් වසංගතයත් සමග විදෙස් ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වී ඔවුන් ලංකාවට පැමිණ තිබේ. ලංකාවේ බොහෝ දෙනාගේ රැකියා අහිමි වී තිබේ. එමගින් විරැකියාව තිබූ තැනින් තවත් ඉදිරියට ගොස් ඇත.  එසේ නම් රැකියා උත්පාදනය සිදුකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සිතා බැලිය යුතුය. අපට නව නිර්මාණ පිළිබඳව ඉතා විශාල හැකියාවක් තිබුණත් එය හරියාකාරව භාවිත නොකරයි. අපි අද වනවිට සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් සැරිසරමු.

නමුත් අප එය කොපමණ අපගේ ආර්ථිකය ගොඩ නගා ගැනීමට, දැනුමක් එකතු කර ගැනීමට භාවිත කරනවාද යන්න පිළිබදව සිතා බැලිය යුතුය. පුද්ගලයෙකු social media user කෙනකු නොවී, social media භාවිත කරමින් ඉදිරියට යා යුතුය. පුද්ගලයෙකුට ලෝකය තුළ කොහේ හෝ ඉඩක් ඇති බවට ගෙවුණු 2020දි අපට ඉගැන්වූවා සේම එම ඉඩ සොයා යාමට 2021දී අප සූදානම් විය යුතුය.

2020 තුළදී පවුලක වටිනාකම පිළිබදව සමාජයට අපූරු පාඩමක් නිර්මාණය විය. 2021දී පවුල්  වටිනාකම රැගෙන ඉදිරියට යා හැකි නම් ඊට  සොභාග්‍යවත් කළ හැකිය. රට සංවර්ධනය කළ හැක්කේ දේශපාලනඥයන්ට හෝ ණය මුදල්වලින් නොව පුද්ගලයාට පමණි. සෑමවිටම අප තුළ  තිබෙන අදහස දේශපාලනඥයන් රට විනාශ කළා යන්නය. නමුත් දේශපාලනඥයන් දෙසට ඇගිල්ල දිගු කිරීමට නොහැකි එකම රට ශ්‍රී ලංකාවය. මන්ද දේශපාලනඥයන් හොරු බවට, මංකොල්ලකරුවන් බවට පත් කරන්නේ මිනිසුන් විසිනි. අප සහයෝගය දෙන දේශපාලනඥයෙකුට බලය හිමි වූ විට අප අපගේ පුද්ගලික වුවමනාවන් ඉටු කරගන්නේ දේශපාලනඥයා ළගට ගොස්ය. රැකියා ඉල්ලීම, ව්‍යාපාරවලට සහය පැතීම වැනි දෑ අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නෙමු.
දේශපාලකයාට ලැබෙන වැටුපෙන් ඔහුට සහය දැක්වූ හිතවතුන්ට, පාක්ෂිකයන්ට උදව් උපකාර කිරීමට නොහැකිය. එවිට ඔවුන් ජනතා බදු මුදල් හොරකම් කරමින්ම පාක්ෂිකයන්ට, හිතවතුන්ට උදව් උපකාර කරයි.


තමුන්ගේ හිතවත්කම් මාර්ගයෙන් රැකියා දීමට හෝ පුද්ගලික උවමනාකම්වලට ඉඩදීම තුළින් දේශපාලනඥයා හොරෙකු බවට, දූෂිතයෙකු බවට පත් වෙයි. නමුත් 2021දීවත් එය වෙනස් කරගෙන දේශපාලනඥයාගෙන් රටට සේවයක් කර ගැනීමට ඔවුන්ට අභියෝග කළ හැකි නම් ලංකාව  දියුණු කර ගැනීමට හැකිය. අප ඡන්දය ලබා දෙන්නේ  ඉදිරී පරම්පරාවට හොද අනාගතයක් නිර්මාණය කර ගැනීමට බව සිතිය යුතුය.

2021දී රටේ අධ්‍යාපනයද විශාල වෙනසකට ලක් විය හැකිය. මෙපමණ කාලයක් අප පරිගණක, දුරකථන, අන්තර්ජාලය වැනි තාක්ෂණයන් ළමුන්ට අකැපයි යන මතයේ සිටියදී, පසුගිය කාලය පුරාවට දරුවන් සිය අධ්‍යාපන කටයුතු සිදු කළේ ජංගම දුරකථනවල පිහිටෙනි. නරක යැයි සිතූ දෙයින් හොද දෙයක් සිදු වෙනවා නම් එම හොද ඉදිරියට ගෙන යාමට හැකි වන් ආකල්ප වෙනස් කර ගැනීමෙනි.


බොහෝ වෙලාවට 2019 වසර වන තෙක් අපේ ජීවිතය ගත වු පවුල පිට බාහිර සමාජයත්  සමගය. ඇතැම්විට ඒවනතෙක් ඔවුන් පවුලත් සමග පැය විසි හතරක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබදව දැන නොසිටින්නට ඇත. නමුත් 2020 වසරේදී පවුල් ජිවිතය කුමක්ද යන්න අපට පැහැදිලි විය. අසාර්ථක යැයි සිතා සිටි පවුල්වල සමගිය, සතුට ඔවුන් විසින්ම සොයා ගන්නා ලදී.  පවුලක මවගේ සහ පියාගේ චරිතයන් හුවමාරු ම කරගනිමින් කටයුතු කිරීම ගෙවුණු වසරේදී සිදුවිය. පියා ඇතැම්විට මවගේ චරිතයද, මව ඇතැම්විට පියාගේ චරිතයටද හුවමාරු වෙමින් කටයුතු කෙරිණි. එමෙන්ම මාපියන්ට ගුරුවරියගේ චරිතය නිරූපණය කිරිමටද සිදුවීය. එම වාතාවරණය මත එකතු වී වැඩ කිරීම තුළින් පවුලක සමගිය සතුට මෙන්ම ඉදිරියට යාහැකි බව මනාව පසක් විය.

පවුල් ගැටලු පවුල  තුලටම සීමා කර ගනිමින් විසදා ගැනීමට හැකි විය. එම තත්වය ඉදිරියටත් ගෙන යමින් 2021 වර්ෂයේදී තව තවත් දියුණු කරගනිමින් ඉදිරිකාලය පුරාවටම පවුල එකට හිදිමින් කටයුතු කළ හැකි නම් දරුවන්ගේ අනාගතය සුරක්ෂිතව, සුභවාදිව ගෙන යාමට හැකිය.  එම නිසා ගෙවුණු වසරේදී අප ඉගෙන ගත් පාඩම් බොහෝය. උදාවුණු 2021 වසර එම උගෙන ගත් පාඩම් ප්‍රායෝගිකව ජීවිතයට එකතු  කර ගැනීමට හැකි වසරකි.
(ආචාර්ය සුලෝචනා සිගේරා -සටහන කැළුම් දේවින්ද)