මාතර නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ඇතුළු 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වීමත් සමග එම රෝහල තාවකාලිකව වසා තැබීමට නියම කළ බව මාතර පුරපති රංජිත් යසරත්න මහතා පැවසීය.


නගරාධිපතිවරයා ලෙස තමාට පැවරී ඇති බලතල අනුව එම නියෝගය නිකුත් කළ බවත් ඊට අවනත නොවී එම රෝහල් පරිපාලනය කටයුතු කලහොත් අධිකරණ නියෝගයක් ගන්නා බවත් ඒ මහතා කීය.

තවද අදාල රෝහල මූලික තොරතුරු වසන් කර ඇති බව කී පුරපතිවරයා ඒ සම්බන්ධයෙන් නීරෝධායන නීති රීති යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සදහන් කලේය.

අදාල රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර එම වාර්තා ලැබෙන තෙක් ද රෝහල සම්පූර්ණයෙන් විෂබීජහරණය කර අවසන් වන තෙක් ද රෝගීන් ඇතුලත්කර ගැනීම්, හා බාහිර රෝගී අංශය ආදී සියලු කටයුතු තාවකාලිකව නතර කිරීමට උපදෙස් දුන් බවද පුරපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවද ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ හා පොලීසියද ලිඛිතව දැනුවත් කර තිබේ.

අදාල රෝහලේ සේවයට පැමිණි වෛද්‍යවරයෙකුට, රෝහල් සේවිකාවකට, රෝගීන් දෙදෙනෙකුට හා රෝගීයෙකු ළග සාත්තුවට නැවතී සිටි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍යඅංශ සදහන් කරයි.