දඹරන් බව කියන බුදුපිළිමයක් කෝටි 50 ක පමණ මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ බව කියන වාපාරිකයකු ඇතුළු තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ මුලතිව් කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (20) මුලතිව් නගරයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

කිලෝ 08 ක් පමණ බර සෙන්ටිමීටර 34 ක් (අඩි 01 අඟල් 02) පමණ උස බුදුපිළිමය ද රැගෙන සැකකරුවන් පැමිණි වෑන් රථය ද පොලිස් බාරයට ගෙන ඇත. බුදු පිළිමයේ පෞරාණික වටිනාකම සොයා බැලීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන් වෙත යොමු කිරිමට නියමිත බව ද පොලිසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු, එම ප්‍රදේශයේම පදිංචිකරුවකු සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචි රියැදුරෙකි.


කෞතුක වටිනාකමක් ඇති ඉපැරැණි දඹරන් බුදු පිළිමයක් විකිණීමට තිබෙන බවට මුහුණු පොතේ පළකර තිබෙනු දුටු විශේෂ කාර්ය බළකායේ මුලතිව් කඳවුරේ පොලිස් කොස්තාපල් හේරත් (32504) මහතා ඒ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබේ. විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරින්ගේ උපදෙස් මත කොස්තාපල් හේරත් කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් බුදුපිළිමයක් විකිණීමට තිබෙන බවට මුහුණු පොතේ පළකර තිබූ පුද්ගලයා සම්බන්ධ කරගෙන ඇතැයි විශේෂ කාර්ය බළකාය කියයි.

රුපියල් කෝටි 50 ක පමණ මුදලකට බුදුපිළිමය විකුණන බවට පැවැසීමෙන් පසුව එය මිලදී ගැනීමට ඔහු කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව බුදු පිළිමය ද රැගෙන තිදෙනකු වෑන් රථයකින් මුලතිව් නගරයට පැමිණ ඇති බව විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මුලතිව් කඳවුරේ පොලිස් පරික්ෂක යූ.වී.සී.ටී. විජේරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පෙරේදා වැටලීමක් සිදුකර බුදු පිළිමය සමග සැකකරුවන් තිදෙනා ඔවුන් පැමිණි වෑන් රථය ද සමග අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙය නිධානයකින් ගොඩගත් එකක් බවට සැකකරුවන් පවසා ඇතැයි කියති.
- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -