කහටගස්දිගිලිය, නෙළුගොල්ලෑකඩ ප්‍රදේශයේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 38 හැවිරිදි වන
අලියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර වෙඩි තැබූ සැරයන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
 
කහටගස්දිලිය පොලිසියේ සේවයේ නියුතු පොලිස් සැරයන් කෙනකු ප්‍රචණ්ඩ වූ වන අලියාගෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ස්වයංක්‍රිය ටී_ 56 වර්ගයේ අවියකින් නෙළුගොල්ලෑකඩදී ප්‍රහාරය එල්ල කර තිබිණි.


වන අලියා නෙළුගොල්ලෑකඩ ප්‍රදේශයේදීම ජීවිතක්ෂයට පත්වී තිබූ අතර වෙඩි ප්‍රහාර දෙකක් අලියාට
එල්ලව තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු
වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවැසුවේය. ප්‍රචණ්ඩව හැසිරුණු වන අලියා නෙළුගොල්ලෑකඩ ප්‍රදේශය
ඔස්සේ ඉදිරියට පැමිණි පොලිස් ජීප් රියට හා මඟ දෙපස පිහිටි නිවෙස්වල ජනතාවට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් සැරයන් රාජකාරිය සඳහා නිකුත් කර තිබූ ටී-56 ගිනි අවියෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර තිබිණි.

පොලිස් සැරයන් වන අලියා මරා දැමීමේ චේතනාවෙන් ප්‍රහාරය එල්ල කර නොමැති බවත් ඔහු දේපළ
හා ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා වන අලියා මෙල්ල කිරීමට ගත් උත්සාහයේදී මරණීය තුවාල සිදුව ඇති බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවැසුවේය. එහෙත් වන අලියා මරණයට පත්වීම සම්බන්ධයෙන් අනුරාධපුර අධිකරණයට කරුණු වාර්තා කර විනිසුරු නියෝග අනුව කටයුතු කරනා බව වනජීවිය පැවැසුවේය.

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

------- 

[Send your emails to editor - editor@gossiplankanews.com]