රටේ සියලුම ආයතනවල ඒ ඒ ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කෙරෙන “පුරා කුටියක්” (Archcell) ආරම්භ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාණය නිරූපණය වන තැනක් , එම ආයතනයේ පවා නැති බවත් එම දෙපාර්තමේන්තුවෙන් මෙම කටයුත්ත ආරම්භ කරන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා  පැවැසීය.දෙපාර්තමේන්තුවේ ආරම්භය,
අතීතය, අතීතයේ සිටි ප්‍රධානීන්ගේ සිට කම්කරුවා දක්වා සියලු දෙනාගේ තොරතුරු එම කුටියේ එක් රැස් කරන බව ද හෙතෙම සඳහන් කළේය.


සෑම පුරාවිද්‍යා ස්ථානයකම මෙවැනි කුටි ආරම්භ කරන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ව්‍යාපෘතිය රටපුරා ගෙන යෑම තම අරමුණ බවද කීය. විශේෂයෙන් වර්තමානයේ බොහෝ තොරතුරු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක්රැස් කළ හැකි බැවින් විශාල ඉඩකඩක් මේ සඳහා අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.  රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල් ඇතුළු සියලු ආයතවල මෙසේ පුරා කුටි ඇරඹීමට ආරාධනා කරන බවත් ඒ සඳහා දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ විශාල ඉඩකඩක් නොව කුඩා කාමරයක් හෝ කබඩ් එකක් වුව ප්‍රමාණවත් බව යැයි ද මනතුංග මහතා කීය.  අදාළ ආයතනයේ ඉතිහාසය සම්බන්ධ දත්ත සහිත පුරා කුටියක් නිර්මාණය කරන ලෙස පාසල් හා රාජ්‍ය ආයතනවලින් ලිඛිත ඉල්ලීමක් කරන බවද පැවසූ මහාචාර්යවරයා එහි දී අවශ්‍ය උපදෙස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන බව ද සඳහන් කළේය.


-විනීතා එම්. ගමගේ -