අතුරුගිරිය ප්‍රදේශයේ සත්ව රෝහලක වෛද්‍යවරයකු ඇතුළු තිදෙනකුට විශාල පිරිසක් බලා සිටියදී අමානුෂික ලෙස පහරදී එක් අයකු උස්සා පොළොවේ ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පස්දෙනකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම පිරිස අතර බස්රථ හිමියකුගේ පුතකු සහ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

අතුරුගිරිය ප්‍රදේශයේ අවහලක් ඉදිරිපිටදී ඉකුත් 31 වැනිදා රාත්‍රී මෙම පහරදීම සිදුවී ඇති බව පොලිසිය පවසයි.


ප්‍රධාන සැකකරු වන බස්රථ හිමිකරුගේ පුත්‍රයා අතුරුගිරිය ප්‍රදේශයේ අවන්හලකට ආහාර මිලදී ගැනීම සඳහා පැජරෝ ජීප් රථයකින් පැමිණ ඇති අතර එම ජීප් රථය වාහන නවතා තබන ස්ථානයේ නැවැත්වීමට ඉඩකඩ මදිවීම හේතුවෙන් එම අවස්ථාවේදී ආහාර මිලදී ගැනීම සඳහා වාහනයකින් පැමිණ සිටි අතුරුගිරිය ප්‍රදේශයේ සත්ව රෝහලක සේවය කරන මුදල් අයකැමිවරයකු සමග බහින්බස් වීමක් සිදුවී ඇති බව පොලිසිය කියයි.

අනතුරුව බස්රථ හිමිකරුගේ පුත්‍රයා දුරකථන ඇමතුම් දී තවත් පිරිසක් එම ස්ථානයට ගෙන්වාගෙන එම පුද්ගලයාට පහරදී අනතුරුව උස්සා පොලොවේ ගසා ඇතැයි කියති.

පිරිස අයකැමිවරයාට වටකර පහර දෙමින් සිටින බව සැළ වී සත්ව රෝහලේ වෛද්‍යවරයකු ද එම ස්ථානයට පැමිණ එය සමථයට පත් කිරීමට උත්සාහ කිරීමේදී එම පිරිස එම වෛද්‍යවරයාට ද පහරදී ඇති බවත් එතැනින් නොනැවතී සත්ව රෝහලට ද කඩාවැදී එහි සිටි කළමනාකරුට ද අමානුෂික ලෙස පහර දී ඇති බවත් පොලිසිය පවසයි.

පහරදීම සිදුවන අවස්ථාවේදී විශාල පිරිසක් අවන්හලේ සහ පිටත සිටිය ද පහරදීම සඳහා පැමිණ සිටි මැර පිරිසට ඇති වූ බිය හේතුවෙන් එය වැළැක්වීමට ඔවුන් ද මැදිහත් වී නැති බව පොලිස් නිලධාරියෙක් කීවේය.
සිද්ධිය සැළ වූ විගස අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මැර පිරිස කඩාවැදුණු සත්ව රෝහලට ගිය ද ඔවුන් ඒ වනවිටත් පලාගොස් සිටි බව එම නිලධාරියා කීය.

පහරදීමෙන් බරපතළ තුවාල ලද මුදල් අයකැමිවරයාගේ අතේ මහපට ඇඟිල්ල ද කැඩී ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අතුරුගිරිය පොලිසිය කියයි.

බස්රථ හිමිකරුගේ පුත්‍රයා සහ ඔහුගේ දැනුම්දීම මත පැමිණි මැර පිරිස අමානුෂික ලෙස පහරදෙන අයුරු අවහලේ සහ සත්ත්ව රෝහලේ සවි කර තිබෙන ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් තවත් පුද්ගලයකු ප්‍රදේශය හැර පලා ගොස් ඇති බවත් ඔහු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අතුරුගිරිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ .


- කේ බුද්ධික කුමාරසිරි -