ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වු හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වූ ද බන්දුල ජයසේකර මයලෝඩිප්ලාස්ටික් සහලක්ෂණ පෙන්වන රෝගයකට ගොදුරුවී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එය රුධිර පිළිකා විශේෂයකි. කොවිඩ් සහ වෙනත් අභියෝග හේතුවෙන් ඔහු සිංගප්පුරුවේ, ජාතික විශ්වවිද්‍යාලයේ පිළිකා ආයතනයට ඇතුළත්වීම මාස 10කින් ප්‍රමාද විය. ලියුකේමියා තත්වයට ව්‍යාප්ත වන පිළිකා උදෙසා, ඇටමිදුලු බද්ධ කිරීම (පරාරෝපණය) සම්බන්ධයෙන් වඩාත් බලාපොරොත්තු තැබිය හැකි රෝහල වන්නේ එම ආයතනයයි. වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව ඔහු මේ වනවිට සහන සත්කාර ඒකකය වෙත යොමුවී සිටියි. ඔහු සමග කළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ අසාධ්‍ය පිළිකා රෝගීන් රැකබලා ගැනීමට බොහෝ දේවල් කළ යුතුව ඇතැයිද ඔහු පවසා තිබේ.
“ඩේලි මිරර් ලයිෆ්' සමග පැවැත්වූ කෙටි පිළිසඳරක දී ජයසේකර මහතා පිළිකා රෝගය වැළඳී ඇති බව සොයා ගැනීමෙන් අනතුරුව තමා ලැබූ අත්දැකීම් විස්තර කළේ මෙසේය. සිංගප්පූරුවේත්, ශ්‍රී ලංකාවේත් වෛද්‍ය සත්කාර සේවා සම්බන්ධයෙන් තම අදහස් පළ කළ ඔහු බුදු දහමින් උගත හැකි පාඩම් පිළිබඳවත් අනාගත පරපුරට දියහැකි පණිවිඩය පිළිබඳවත් කියා සිටීයේය. එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ .
ප්‍රශ්නය- පිළිකාව වැළඳී ඇති බවට මුලින්ම සොයාගත් අවස්ථාවේ ඔබේ සිතට ආ සිතුවිලි මොනවාද?
ඇට මිදුළු පරික්ෂාව සිදුකළ අවස්ථාවේ වෛද්‍යවරුන් කතා කළ දේ මට දැනුණා. මේ රුධිර පිළිකාවක්. මට හරියට දුක හිතුනා. මට උදව් කරන අයත් එක්ක මෙතන ඉඳගෙන මම ඇඬුවා. ඒකට මුහුණ දෙන්න වන බව මම දැනගත්තා. අපි රුධිර පිළිකා විශේෂඥ වෛද්‍යවරයා හමුවුණා. පැය දෙකක් විතර මාව පරික්ෂා කළ ඔහු කිව්වා ඇට මිදුළු බද්ධ (පරාරෝපණය) (transplant) කරනවා ඇරෙන්න සුවපත් කරන්න වෙන ක්‍රමයක් නෑ කියලා. එතුමා කිව්වා. ඒක කරන්න ඕන ඉන්දියාවේ හරි සිංගප්පූරුවේ හරි කියලා. රෝග බෝවෙන්න ඉඩ තියෙන නිසා මම සිංගප්පූරුව තෝර ගත්තා. 2019 දී මම සිංගප්පූරුවට ගියා. බර වියදමක් නිසා මම ආපසු ඇවිත් මුදල් එකතු කරන්න පටන් ගත්තා. අපි දෙසැම්බර් මාසෙ යන්න ලෑස්ති වෙලා හිටිය. ඒත් මගේ අවාසනාවට මට ශරිර පටක දෙන්න ලැස්ති වෙලා හිටපු කෙනාට අවුරුදු 25කට කලින් මොළේ ඉදිමීමක් තිබුණා කියලා දැනගත්තා. ඊට පස්සේ කොවිඩ් ආවා. ඉස්සෙල්ලම සිංගප්පූරුව වැහුවා. ඊට පස්සේ ශ්‍රී ලංකාව වසා දැමුවා. මගේ ගමන මාස 10ක් පහුවුණා.
ඊට පස්සේ එයාලට මාව නැවත පරික්ෂා කරන්න ඕනෑ වුණා. පිළිකාවක් සම්බන්ධ සෑම දිනයක්ම ගණන් ගැනෙනවා. එනිසා ඇට මිදුළු පරික්ෂාවක් එයාල නැවත සිදුකළා. එයාලා කිව්වා ලියුකේමියා තත්වය දක්වා වර්ධනය වෙලා කියලා. ඒ හින්දා කිසි දෙයක් කරන්න බෑ කිව්වා. සහන සත්කාර උදෙසා යන්න කියලා මට උපදෙස් ලැබුණා.
ප්‍රශ්නය- ඔබ වැනි රෝගියකුට කොවිඩ් වසංගතය කෙතරම් දුරට අභියෝගයක් වුණා ද?
කොවිඩ් රෝගය පැතිරුණු නිසා මගේ ට්‍රාන්ස්ප්ලානට් එකට (ඇට මිදුළු බද්ධයට) අදාළ කිසි දෙයක් ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන්කම තිබුණෙ නෑ. ඒ නිසා මයලෝඩිප්ලාස්ටික් සින්ඩ්‍රම් එක ලියුකේමියාවට පෙරළුණා. එහෙම නොවුනා නම් මට ඇට මිදුළු බද්ධය කර ගන්න තිබුණා. ඉතින් මම රෝගයත් එක්ක ඉන්න තීරණය කළා. වෛද්‍යවරයා හරිම හොඳ කෙනෙක්. මම ඉන්න තත්ත්වය මට පැහැදිලි කළා. මම මාස 18ක් වද වින්දා. ඒක ලේසි නෑ. මට දැන් ඇති, මොකද මම ජීවිතේට කෑදර නෑ. මම අවුරුදු 60ක් ජීවත් වුණානෙ.
ප්‍රශ්නයඃ- සිංගප්පූරුව සත්කාර සේවාව ගැන අපට කියන්න. ඒ අයගෙන් අපට උගත හැකි පාඩම් මොනවද?
මෙහෙ වෛද්‍යවරයා උත්සාහ කළේ ඖෂධ ප්‍රතිකාරවලින් සුව කරන්නයි. ඒත් මම සිංගප්පූරුවට ගිය අවස්ථාවේ එයාල බෙහෙත් ප්‍රතිජීවක ඖෂධ ආදිය අඩු කළා. මට කැමති දෙයක් කන්න දුන්නා. ඔක්තෝබර් 28ට කලින් මට හරිහැටි කතා කරගන්න බැරිව හිටියේ. එහෙත් මම සිංගප්පූරුවේ NUS රෝහලට (ජාතික වි.වි. පිළිකා ආයතනයට) ගිය වෙලේ පටන් මම වෙනස් වුණා. මෙම නොවැම්බර් 15 නැවත ආවට පස්සෙ දොස්තර ලිඛිතවම මට සහන සත්කාරවලට යොමුවිය යුතුයි කියල නියම කළා. ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන් විකල්ප ඖෂධ ප්‍රතිකාරවලට යොමු වුණත් ඖෂධවලින් හැමදේම සිදුවන්නේ නෑ.
සිංගප්පූරුවේ තියන්නේ ලෝකයේ ඉහළම මට්ටමේ ප්‍රතිකාර මෙරට ඇටමිදුළු ප්‍රදානය කරන්නන්ගෙ ලේඛනයක් නැහැ. එහෙත් සිංගප්පූරුවේ ඒ අය ලියාපදිංචි කරනවා. එරට රෝගියාට බොහෝ සෙයින් මිත්‍රශීලිව සලකනවා. වඩාත් දියුණු මට්ටමේ සත්කාර තිබෙනවා. මා දකින විදියට (KDU) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල වඩා දියුණුයි. කරාපිටිය රෝහලේ සහන සත්කාර මධ්‍යස්ථානය විශ්මිත තැනක්. කරාපිටියේ එම මධ්‍යස්ථානය නවීකරණය වූ පුංචි හෝටලයක් වාගේ. එහි කටයුතු මෙහෙයවමින් නායකත්වය දෙන්නේ පිළිකා වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරා. මම එහෙ ගිහින් දවස් පහක් හරිම සතුටින් හිටියා. දොස්තරවරුන් හෙද කාර්ය මණ්ඩලය උපස්ථාන සේවකයින් පුදුමාකාර තරම් හොඳයි. මිනිස්සු දන්නේ නෑ මෙරට ඒ වගේ තැනක් තියෙනවද කියලා. මම කේ.ඩී.යූ. හා කරාපිටිය අතර නිතර මාරුවෙන්න හිතාගෙන ඉන්නේ. රජය මීට වැඩි යමක් කළ යුතුයි.
සැමදේම මහරගම (පිළිකා රෝහල) වෙතම යොමු කරන්න අවශ්‍ය නැහැ. මම එහෙ ගිය වෙලාවේ මට ෆොටෝ කොපියක් අරන් එන්න කිව්වා. ඒක ගන්න මට රෝහලෙන් පිටතට යන සිදුවුණා. ෆාමසියට ගිහින් බෙහෙත් තියෙනවද බලල එන්න කියලා පවා මහරගම දී මට කිව්වා. ඒ ඇට මිදුළු පරික්ෂාව කළායින් පස්සේ. ලියාපදිංචි කිරිමේ පිළිවෙත මට දුලභ අත්දැකීමක් වුණා. මොකද එතැන බල්ලෝ පුසො පවා හිටියා. විෂබීජවලින් මාව බේරගෙන මාව ආවරණය කරගෙන යන්න මාගේ සහයකයන්ට සිදුවුණා.
ප්‍රශ්නයඃ- සාර්ථකව මුහුණ දීම සඳහා ඔබට බුදුදහම උපකාර වුණේ කොහොමද?
මම බෞද්ධ පිළිවෙත් අනුගමනය කළේ නෑ. එහෙත් අප තුළ බුදු දහම රැදී තිබුණා. අපි චාම් ජීවිත ගත කළේ අපි සරල ගතිපැවතුම් සහිත පසුබිමක වැඩුණු අය. පිළිකාව මට වැළඳුණු අවස්ථාවේ පටන් එම පසුබිම බොහෝ උපකාරි වුණා. කිහිප දෙනෙක් මට මගපෙන්වීම් කළා. මුලින්ම මම බොහෝ පිරිත්, බණ ආදීයට සවන් දුන්නා. ඒක හරිම අමුත්තක්. බුදු දහමෙ කියන්නෙ යථාර්ථයට මුහුණ දෙන හැටි. එහෙත් සමහර බෞද්ධයො පන්සල් යන්නේ වැඩි වැඩියෙන් දේවල් ඉල්ලගන්න. මම නිතර කියන දෙයක් තමා සැබෑ බෞද්ධයන් ඉන්නේ බටහිර රටවල කියන කාරණාව. මට ඕනා මිනිසුන්ට උදව් කරගෙන සාමාන්‍ය විදිහට ඉන්නයි. සාමාන්‍ය ජීවිතේට මුහුණ දෙන්න ඕනෑ. අපි මේ යථාර්ථය පිළිගන්න ඕනෑ.
ප්‍රශ්නයඃ- එක වෙලාවට ඔබ මොන වගේ වැඩවලද නිරත වෙන්නෙ?
මම පොත්වල රූප පාට කරමින් කාලය ගෙවනවා. ඒ හැරුණු කොට මම දන්නේ නෑ මම මොනවා කර කර ඉන්නවද කියලා. මගේ තව යාළුවෙක් මට (Netflix) නෙට්ෆ්ලිකස් නිර්මාණ තෝරා දුන්නා. මම ඒවායෙත් නිරත වෙනවා. පාට කිරිම භාවනාවක් වාගේ. මට තේරෙන්නෙ නෑ මට මේවා එවූ වෛද්‍යවරයාට කොහොම ස්තූති කරන්නද කියලා.
ප්‍රශ්නය- පැමිණි දේට මුහුණදීම ගැන ඔබ බොහෝ කතා කළා.
එන දේට මුහුණ දෙන්න වැඩිපුරම මට කියා දුන්නේ පිළිකාවයි. ඒ හැරුණු කොට වෙනත් තෝරා ගැනීමක් මා ඉදිරියේ තිබේද? එහෙත් සිංගප්පූරුවට ගිය වෙලේ අපට පොඩි බලාපොරොත්තුවක් තිබුණා. අපි එහෙ මාස තුනක් ඉන්න සැලසුම් කරගත් නිසා සුවවී ආපසු පැමිණම බලාපොරොත්තුවෙන්. ඒත් අපි හිටියෙ දවස් 20ක් විතරයි. මට ඕනෑ එදිනෙදා ජීවත් වෙන්නයි. මම මුදල් එකතුව කරනකොට බොහෝ දෙනෙක් මට උදව් කළා. ඒත් එයින් බොහෝ දෙනෙක් මට කලින් යන්නම ගියා.
ප්‍රශ්නය- අරමුදල් ගොඩනැගීම කෙතරම් දුරට අභියෝගයක් වුණාද?
මගේ රූපවාහිනී වැඩසටහන් හා මාධ්‍ය සහයෝගීතාවට ස්තුතිවන්න වෙන්නට, මට බොහෝ උපකාර ලැබුණා. ඒත් මට උදව් කළ අය සහ දුප්පත් ජනයා ගැන මම සිතමින් ඉන්නෙ. මට රුපියල් මිලියන 15ක් මදිවුණා. ඒත් මගේ සහෝදරයා කිව්වා කොහොම හරි ඒක හොයාගනිමු කියලා. ඒක ලේසි නෑ. ඒත් එක අතකින් මම වාසනාවන්තයි.
ප්‍රශ්නය:- ඒත් හැම රෝගියකුටම මෙහෙම මුදල් එකතු කරගන්න අවස්ථාව පැදෙන්නේ නැ. පිළිකා රෝගීන් ගැන වඩාත් හොඳින් බලා ගන්නට එයට මැදිහත් වීය හැක්කේ කෙසේද?
බෙහෙත් වර්ග අධික මිලයි. රජයට ඒ ගැන සහාය දිය හැකියි. මහරගම රෝහලේ බෙහෙත් නැහැ. ඒත් පිටත තිබෙනවා. එසේ විය යුතු නැහැ. රජය පූර්ණ ලෙස මැදිහත් වෙලා එය වෙනස් කළ යුතුයි. බොහෝ මිනිසුන් මිය යනවා. තමන්ට පිළිකා තිබෙන බව බොහෝ අය දන්නෙත් නැහැ. මට මුදල් ප්‍රදානය කළ අය නොසිටින්නට මට සිංගප්පූරුවට යන්න ලැබෙන්නෙ නෑ. පෞද්ගලික රෝහල්වලත් මුදල් අය කිරිම් වැඩියි. ඒ සම්බන්ධයෙන් දැඩි පාලනයක් හා මාර්ගෝපදේශ තිබිය යුතුයි. මොවුන්ට මහරගම මුළුමනින්ම වෙනස් කොට අලුතෙන් පටන් ගන්නට පුළුවන්. මිනිසුන්ට අධ්‍යාපනයක් දිය යුතුයි. මම ඉන්නේ අසාමාන්‍ය රෝගී තත්ත්වයක වුණත් මාත් උදව් කරන්න තීරණය කළා. මිනිසුන් වඩා විවෘත විය යුතුයි. මෙය සාමාන්‍ය රෝගයක් බව වටහාගත යුතුයි. දැනුවත් භාවය වැඩි කිරිමෙන් දුප්පත් අයට දෙන සහයෝගය රජයට වඩාත් කළ හැකි බව මා සිතනවා.
ප්‍රශ්නය:- දලයි ලාමා වැනි විශේෂ පුද්ගලයන් ඔබ මුණගැසුණා. එම අත්දැකීම නැවත ඔබ සිහිපත් කරගන්න කැමතිද?
තමන් නිර්වාණය ලැබූ කෙනෙක් නෙවෙයි සාමාන්‍ය පුද්ගලයෙක් බව ඔහු කීවා මට මතකයි. එයින් මා බොහෝ දේ ඉගෙන ගත්තා. ඔහු මහත් සතුටක් හිතේ රඳවාගෙන ඉන්නේ. හාස්‍ය දනවන දේ ගැන හොඳ සංවේදී බවක් ඔහු තුළ තිබෙනවා. මට ඒක අමතක වෙන්නෙම නෑ. ටිබෙට් දේශයට ගොස් කාශ්මීරයේ දෙපසටම යන්න තරමට වාසනාවක් මට තිබුණා. මම බොහෝ දුර බැහැර ගමන් ගිහින් තිබෙනවා. ආපසු හැරි බැලූ විට මට මගේ ජීවිතය ගැන සතුටු වෙන්නට පුළුවන්. මට උදවු වූ අවස්ථා ගැන මම සතුටු වෙනවා. පසුතැවිලි වෙන්නට දෙයක් මට නෑ. සහන සත්කාර වෛද්‍යවරුන් මගෙන් විමසුවා මගේ ප්‍රමුඛතම ආසා ගැන.
මම කිව්වා මට 60 වැනි උපන් දිනය දක්වා ඉන්න ආසයි. මගේ වැඩසටහන් ආයෙත් කරන්න ආසයි කියා. කරාපිටිය සහන සත්කාර මධ්‍යස්ථානයට යන්නත් කුරුණෑගල යන්නත් මාගේ ආසාවක් තිබෙනවා කියා මම කිව්වා. දවස් කිහිපයකට පස්සේ ඈ එම ප්‍රශ්න මගෙන් විමසන විට මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒ සියල්ල අල්ලා දමා මම සැහැල්ලුවෙන් හිත හදාගත්තා. වෛද්‍ය චිත්‍රා වීරක්කොඩි හොඳින් පුහුණු වූ සහන සත්කාර සේවා වෛද්‍යවරියක්. ඈ වගේ අය මා වටා සිටීම මා ලැබූ වාසනාවක්.
ප්‍රශ්නය- තරුණයන්ටත් අනාගත පුරටත් ඔබ දෙන පණිවිඩය?
දිනපතා, එදිනෙදා ජීවිතය ගැන සිතා පූර්ණ සන්තුෂ්ඨියෙන් ජීවිතය ගෙවන්න. තරගකාරි බවට හෝ සිත් රිදවා ගැනීම්වලට එළඹෙන්න එපා. එයින් සිදුවෙන්නේ ඔබේ ලේ උණුවීම පමණයි. සමාජ මාධ්‍යවලින් ඉවත්වී යථාර්ථයේ ජීවත් වෙන්න. සැබෑවේ සිටියහොත් එය ඔබට උපකාර වේවි. අනෙක් මිනිසුන්ට නිහඩව උපකාර කරන ජනයා අගය කරන්න. ඒ සියල්ලටත් වඩා මිනිසත් බව නැවත මෙලොවට ගෙන එන්න.
සාකච්ඡාව - කමන්ති වික්‍රමසිංහ
0 Comments