අත්‍යවශ්‍ය කරුණකට හැර අනවශ්‍ය ලෙස තැන්තැන්වල සමුහ වශයෙන් එකතු නොවන ලෙස සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
නිවෙසින් පිටතට යන සෑම අවස්ථාවකම මුඛාවරණ පළඳින ලෙසත් හැකි හැම අවස්ථාවේම සබන් ගා දෑත් පිරිසුදු කරගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි. රෝගී තත්ව නොතිබුණද, උදේ සවස ලුණු මිශ්‍ර උණුවතුරෙන් උගුර සේදීම, වරින්වර උණුවතුර පානය කළ හැකිනම් එය කොරෝනා වයිරසය ශරීරගතවීම වළක්වාම ගැනීමට පිටිවහලක් වනු ඇති බවද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
කොරෝනා මර්දන එන්නත ඉදිරියේ දී ලැබුණත් රෝගය වළක්වා ගතහැකි පුරුදු අනුගමනය කිරීමෙන් රෝගය පැතිරයාම වළක්වා ගැනීම කළ හැක්කේ පොදු ජනතාවගේ සහාය ඊට ලැබීමෙන් පමණක් බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කළේය.
ආසාදිත බව තහවුරු වන පුද්ගලයන්ගේ පළමුපෙළ ආශ්‍රිතයන් ඇතුළු අවදානම් සහිත සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක් කරන්නේ රෝගය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් වුවත් ස්වයං නිරෝධායනයට ලක්කරන බොහෝ දෙනෙක් හොර රහසේ තැන තැන ඇවිදින බවට තොරතුරු නිරන්තරයෙන් ලැබෙන බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා කීවේය. ඒ නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලැබුණු පසු ස්වයං නිරෝධායනය වන ස්ථානයෙන් නිරෝධායනය වන කාලය තුළ බැහැරව නොයන ලෙස ඉල්ලීමක් කරන බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසුවේය.
- අජිත්ලාල් ශාන්තඋදය -
0 Comments