මුළු ලෝකයම බිය කිරීමට සමත් වූ, “කොවිඩ් 19" වයිරසයේ නව විකෘතිය ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් පළමු වරට හමුවී ඇති බව, ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙරාඩ් පොලිස්, ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. 

නව වයිරස ප්‍රභේදය හමුවී ඇත්තේ , කොරෝනා ආසාදිත 20 හැවිරිදි තරුණයකුගෙන් යැයි පැවැසෙයි.
විකෘතිකරණයට ලක්වුණු මෙම නව ප්‍රභේදය සාමාන්‍ය කොරෝනා වයිරසයෙන් වෙනස් වන්නේ මෙහි සම්ප්‍රේෂණ වේගය සියයට 70 කින් වැඩි නිසා යැයි තහවුරු වී තිබේ.

නව ප්‍රභේදය ආසාදනය වී ඇති තරුණයා ඩෙන්වර් නුවර පදිංචි අයකු බවත්, ඔහු පසුගිය කාලයේ ඩෙන්වර් නුවරින් පිට සංචරණය කර නොමැති බවත් පැවැසෙයි.

ඒ අනුව, ඩෙන්වර් සෞඛ්‍ය බලධාරින් සැක කරන්නේ , විකෘති ‘කෝවිඩ් 19' ප්‍රභේදය මෙම තරුණයාට ආසාදනය වන්න ඇත්තේ එම ප්‍රභේදය ආසාදනය වූ වෙනත් ආසාදිතයකුගෙන් බවය. මෙම විකෘති කොරෝනා ප්‍රභේදය පළමුවෙන් වාර්තා වූයේ එංගලන්තයෙනි. එය මේ වනවිට මහා බ්‍රිතාන්‍යය පුරාත්, ලොව තවත් රටවල් රැසකටත් ව්‍යාප්තවී අවසන්ය. ඊට අමතරව දකුණු අප්‍රිකාවෙන් ද නව ප්‍රභේදයක් හමුවී තිබේ. එය, එංගලන්තයෙන් හමුවුණු ප්‍රභේදයට වඩා වෙනස් එකකි. මේ වනවිට ලොව වැඩිම ‘කොවිඩ් 19" ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන ඊයේ (30) වනවිට 19,976,000 පසු කර තිබුණි. වාර්තා වන වයිරස ආසාදිත මරණ 3,46,563 ක් ලෙස දැක්විණි.

(ඒ.එෆ්.පී. )