මහරගම නගර මධ්‍යයේ පිහිටී, නගර සභාවට අයත් භූමියක අනවසරයෙන්   වෙළදාම නීරත වෙළඳුන්ගේ, වෙළද කුටී, මහරගම නගර සභාව මගින්   පෙරේදා රාත්‍රී ඉවත් කිරීමට යාමේදී නගර සභා සේවකයන් හා වෙළඳුන් අතර උණුසුම් තත්වයක් හටගත්තේය.    එම තත්ත්වය පාලනය කිරීම සඳහා  පොලීසිය මැදිහත් වීමත් සමඟ මහරගම  නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා හා පොලිසිය අතර ද උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.  මෙම අවස්ථාවේ දී මහරගම පැරණි බස් නැවතුම්පොළ භූමියේ ඉදිකර තිබූ අනවසර වෙළඳසල් නගර සභාවේ බැකෝ යන්ත්‍ර, ලොරි රථ හා එහි  සේවකයින් යොදවා ඉවත් කිරිමට නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා   පියවර ගැනීමත් සමග ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් සිදු නොකළේ යැයි පවසමින් වෙළෙන්දෝ නගර සභා සේවකයන්ට විරෝධතාවය පළ කළහ.


එම විරෝධාතාව නොතකා පැරණි බස් නැවතුම්පොළ භූමියේ තිබූ අනවසර වෙළඳ කුටි ඉවත් කිරිමට පියවර ගත් අතර එහි පැමිණ සිටි ඇතැම් වෙළෙඳුන් සිය වෙළඳ කුටි ඉවතට රැගෙන යන අයුරු දක්නට ලැබුණි.  ඉන් පසුව පැරණි බස් නැවතුම්පොළ භූමියට යාබදව පිහිටි නගර සභාවට අයත් 35 ඉඩමේ ඉදිකර ඇති අනවසර වෙළෙඳසල් ද කඩා ඉවත් කිරිමට නගර සභා සේවකයන් සැරසෙනවාත් සමඟම එහි වෙළඳාමේ නිරත සියයකට අධික  වෙළඳුන් තම වෙළෙඳසල් ආරක්ෂා කරමින් එහි රැඳී සිටිනු දක්නට ලැබුණි.  පසුව මෙම තත්වය පාලනය කිරිම සඳහා නුගේගොඩ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථාන හයකින් නිලධාරින් සියයකට අධික පිරිසක් ද, කැරලි මර්දන නිලධාරින් හා ජල ප්‍රහාරක බවුසර්ද කැඳවීමට සිදු වූ බව එහි සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.


මෙම අවස්ථාවේදී උද්ගතවෙමින් තිබූ තත්වය පාලනය කිරිම සඳහා නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි නුවන් අසංක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් නගරාධිපතිවරයා සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළ ද එය ව්‍යර්ථ වූ අතර වෙළඳුන් ද එහි රැඳී සිටිනු දක්නට ලැබුණී.

මේ තත්වය මත දෙපාර්ශ්වය අතර ආරවුලක් ඇති විය හැකි බැවින්, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසං ක මහතා දෙපාර්ශ්වයම අමතා පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ඉන් ලැබෙන නියෝගය අනුව ඉදිරියේදී දෙපාර්ශවයම කටයුතු කරනා ලෙසයි.  ඊට නගරාධිපතිවරයා හා වෙළඳුන්  කැමැත්ත පළ කිරිමත් සමග දෙපාර්ශ්වය එම ස්ථානයෙන් පිටව ගිය අතර පසුව  එම ස්ථානයට පොලිස් ආරක්ෂාව සැපයීමට පියවර ගෙන තිබුණි. මේ සම්බන්ධව මහරගම නගරාධිපති  ටීරාජ් ලක්රුවන් මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.



මේ භූමිය නගර සභාවට අයත් භූමියක්. වසර ගණනාවක සිට නගර සභාවේ කිසිදු අවසරයකින් තොරව ඔවුන් මෙහි වෙළඳාම් කරනවා. මේ ගැන නගර සභාවේ මාසික මහ සභා රැස්වීම් කිහිපයකදීම සාකච්ඡා වුණා. එහිදී තීරණය වුණේ නගර සභාවේ අනුමැතිය යටතේ ඵලදායි ව්‍යාපෘතියක් සඳහා මේ භූමිය යොදවන ලෙසටයි.  එවන් තත්ත්වයක් තුළ මේ භූමිය ඔවුන්ට ලබා නොදුනහොත් සිරුරට ගිනි තබා ගන්නා බව පවසමින් පුද්ගලයෙකු 13දා විරෝධතාවකද නියැලුණා. යම්  හෙයකින් ඔහු ගිනි තබාගෙන සියදිවි හානි කරගත්තා නම් වරද පැටවෙන්නේ නගර සභාවට.  මේ නිසා අපි තීරණය කළා මේ භූමියේ තිබෙන සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරලා භූමිය නිදහස් කර ගන්න. ඒකයි අපි අද කරන්න හැදුවේ. එහෙත් ඒ කටයුත්තට බාධා පැමිණ තිබෙනවා. ඒ නිසා ඊට විරෝධය පළ කරමින් 14දා අපි සේවයෙන් ඉවත් වෙනවා. හැකි ඉක්මනින් නීතිමය පියවර ගෙන හෝ  මේ ඉඩම නිදහස් කර ගැනීමයි අපේ බලාපොරොත්තුව.


-ජයමාල් චන්ද්‍රසිරි-