තලංගම හිනටිකුඹුර ප්‍රදේශයේ දී අඩි 12 ක පමණ පස් කන්දකට ඊයේ (17)  පෙරවරුවේ යට වූ දෙදෙනකුගෙන් අයකු පොලිසිය, යුද හමුදාව, සෞඛ්‍ය නිලධාරින්  සහ ප්‍රදේශවාසීන් එක්ව පැය දෙකක  පමණ දැඩි මෙහෙයුමකින් පසුව බේරාගෙන රෝහල් ගත කළ බව තලංගම පොලිසිය කියයි.   නිවෙසක පිටුපසින් පිහිටා තිබෙන අඩි 12ක් පමණ උසැති විශාල පස් බැම්ම නායයාම වැළැක්වීම සඳහා කොන්ක්‍රීට් බැම්මක් ඉදිකිරිමට කානුවක් කපමින් සිටියදී ඊයේ පෙරවරුවේ 8.30ට පමණ එම පස් කන්ද කඩා වැටී ඇති බව පොලිසිය පවසයි.  සේවකයන් දෙදෙනා අඩි 4ක් පළල සහ අඩි 4ක් උස කානුවක් කපමින් සිටී ඇති අතර එම කටයුතු අවසන් අදියරේ තිබියදී මෙම පස් කන්ද කඩාගෙන වැටී ඇති බවද පොලිසිය කියයි.



පස්කන්ද කඩාවැටීමත් සමග ඔවුන් දෙදෙනා එයට යට වී ඇති අතර එක් අයකු ඉණ වටක් පස්වලට යටවී ඇති අතර අනෙක් තැනැත්තා සම්පූර්ණයෙන් පස් කන්දට යට වී සිටියේය. පස්කන්ද කඩාවැටීමත් සමග වහාම  ක්‍රියාත්මක වූ නිවෙස් හිමියා තලංගම පොලිසිය හා 1990 සුවසැරිය ගිලන් රථ  සේවාව දැනුවත් කර ඇත. ඒ වනවිටත් අවට පිරිසක් එම  ස්ථානයට පැමිණ පස් ඉවත් කර එක් අයකු බේරාගෙන ඇති අතර, සම්පූර්ණයෙන්ම පස් කන්දට යටවූ තැනැත්තාගේ හිස පාදා ගැනීමට දැඩි වෙහෙසක් දරමින් සිට ඇත.


සිද්ධිය සැලවීමත් සමග තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් දිල්රුක් මහතා ප්‍රමුඛ 15 දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ ඔහු බේරාගැනීමට දැඩි  පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය, පැලවත්ත යුද හමුදා කඳවුරට ද දැනුම් දී ඇත.  එම දැනුම්දීමත් සමග යුද හමුදාවේ  දහ දෙනකුගෙන් පමණ යුත් භට කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ තිබේ.  ඒ වනවිටත් ඉහළින් තිබෙන පස් කන්ද තව තවත් රූටා වැටෙන්නට පටන්ගෙන ඇති අතර හමුදා නිලධාරින් ඒ මතට විශාල ලැල්ලක් තබාගෙන දෑත්වලින් තද කරගෙන සිටියදී  අනෙකුත් පිරිස බැකෝ යන්ත්‍රයකින්, උදලුවලින් සහ අත්වලින් පස් ඉවත්කර කන්දට යටවී සිටි තැනැත්තා  බේරාගැනීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.  පැය භාගයකින් පමණ පසුව පස් යට සිටි තැනැත්තාගේ හිස කොටස පාදාගෙන තිබූ අතර ඔහුගේ හඬ ඇසීමත් සමග සෞඛ්‍ය නිලධාරින් වහා මැදිහත් වී භටයක් පොළොව යටට යවා එමගින් ඔහුට අවශ්‍ය ඔක්සිජන් වායුව ලබා දී තිබිණි.


පිරිස පැය දෙකක පමණ කාලයක් පුරා කැපවි පස් ඉවත් කර ඔහු බේරාගෙන සුවසැරිය ගිලන් රථයෙන් රෝහල්ගත කර ඇත.  මෙලෙස පස් කන්දට යටවී ඇත්තේ  තලංගම හීනටිකුඹුර ප්‍රදේශයේ පදිංචි  උදේශ් ගැමුණු කුමාර (28) හා කොළඹ 15 පදිංචි හැරල්ඩ් ජූඩ් සෙබස්තියන් (25) නමැති දෙදෙනාය.  සියලු දෙනා ක්‍රියාත්මක වී එක සේ මහත් කැපවීමෙන් කටයුතු කළ නිසා  මෙම තැනැත්තාගේ දිවි බේරාගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.  පස් යට සිරවී සිටි සේවකයාගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

 -ඉන්දිකා රාමනායක -