කොරෝනා අතුරු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන  ආදපාන මූලික රෝහලේදී
කොරෝනා ආසාදිත කතක් පසුගිය 27 වන දින දරු ප්‍රසූතියක් කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ රංජිත්
ධර්මකීර්ති මහතා පැවැසීය. විදේශගතව සිට පැමිණ විල්පිට නිල්වලා විද්‍යාපීඨයේ නිරෝධායනය වෙමින්
සිටියදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණකදී කොරෝනා ආසාදිත බවට හඳුනාගත් මෙම  මව අකුරැස්ස
අතුරලිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.


දරුවා සහ මව පැය ‍දොළහක කාලයක් රෝහලේ රඳවාගෙන සිට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල
වෙත මාරු කර යැවූ බවත් දරුවා යහපත් තත්ත්වයකින් පසුවූ බවත් රෝහල් අධිකාරිවරයා පවසයි. විදේශයේ
සිට පැමිණෙන අය සහ විදේශික සංචාරකයන් ලෙස පැමිණෙන අය නිරෝධායනයට පත්කරන විල්පිට නිල්වලා
විද්‍යාපීඨයේ රැඳවූවන්ට සිදුකරන පී.සී.ආර්. පරීක්‍ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණවලින් කොරෝනා
ආසාදිතයන් බවට සැකකරන ආසාදිතයන් අතුරු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස මෙම රෝහලට එවනු ලබයි.
එලෙස 8 දෙනකුගෙන් 4 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් අතර ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන
වෙත පිටත් කර යැවූ බවත් වෛද්‍ය රංජිත් ධර්මකීර්ති මහතා පැවැසීය.

පසුගිය දිනක කඹුරුපිටිය සති පොළේ කළ පී.සී.ආර්. පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන
ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ අකුරැස්ස රේස් බුකියක කළමනාකරුගේ බිරියට කොරෝනා ආසාදිත බව 27
වන දින හඳුනා ගැනීමෙන් පසු ඇය දරුවා ලැබීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බව කඹුරුපිටිය
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ගලබඩහේවා මහතා පැවැසීය.


මාවරල - සේන