සුනඛයකු සපා කෑ තම සැමියාට ප්‍රතිකාර ලබාගැනීමට වැල්ලවාය, රන්දෙණියායේ සිට පෙරේදා
(27දා) පැමිණි කාන්තාවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බැව් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂණයේදී
අනාවරණය වී ඇත.

මෙම කාන්තාව සැමියා සමඟ රෝහලට පැමිණි අවස්ථාවේදී ඇයට උණ සමඟ ක්ලාන්ත ගතිය ඇතිවී බාහිර
රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ. එහිදී සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතයකු
බවට හෙළිවී ඇත.


ඒ වන විට ඇය සැමියා සමඟ නිවෙසට යෑමට රෝහලින් පිටව ගොස් ඇත. ඒ බැව් පොලිසියට දැනුම්දීමෙන්
පසු එම යුවළ මොනරාගල සිට වැල්ලවායට ධාවනය වූ පෞද්ගලික බසයකින් යන බවට තොරතුරු ලැබී ඇත.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු එහි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු
පැමිණ වැල්ලවාය නගරයට පැමිණි කාන්තාව සහ සැමියා බස් රථයෙන් පිටතට ගෙන ආරක්‍ෂිතව
වැල්ලවාය රෝහලට ඇතුළත් කොට කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට යොමුකර ඇත.

ඇගේ සැමියා සහ ආශි්‍රතයන් නිවෙස්වල නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.



බිබිල - නඳුන් ගුණතිලක