ගම්පොළ සහ හෙම්මාතගම අතර ධාවනය වන ලංගම බස් ඊයේ වැටී තිබියදී රුපියල්  ලක්ෂ දෙකහමාරක් පමණ  වටිනා රන් ආභරණ සහිත පාර්සලයක් අහුලාගත් එම රථයේ කොන්දොස්තරවරයා එම රන් ආභරණ සහිත  පාර්සලය එහි අයිතිකාරියට පෙරේදා (02) බාරදී ඇත. මෙම උතුම් සක්‍රියාව කර ඇත්තේ ගම්පොළ ඩිපෝවට අයත් බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන පී.ජී. අනුර ප්‍රියන්ත කුමාර මහතාය.  මෙම රන් ආභරණවල අයිතිකාරිය රූපලාවණ්‍ය ශිල්පිනියක වන ධනුෂ්කා සංජීවනී මෙනවියයි. 
හෙම්මාතගම බැංකුවක උකස්කර තිබූ රන් ආභරණ තොගය උකසින් බේරාගෙන නිවසට රැගෙන යමින් සිටියදී මෙසේ බස් රථය තුළ වැටී ඇතැයි සඳහන් වේ.  මෙම බස් රථයේ කොන්දොස්තර වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියන්ත කුමාර මහතා දුරකථනයෙන් හා සම්බන්ධ වෙමින් එම සිද්ධිය මෙසේ විස්තර කළේය.


“මම අවුරුදු 21ක් ලංගම බස් කොන්දොස්තරවරයෙක් ලෙස සේවය කරනවා. එයින් වසර 13ක්ම ගම්පොළ හා මහමාතගම  අතර ධාවනය වන ලංගම බස් රථයේ කොන්දොස්තර ලෙස සේවය කරනවා. වෙනදා මෙන් පසුගිය ජනවාරි 1 වැනිදා ද සවස 3.20 ට විතර හෙම්මාතගම ඉඳලා ගම්පොළ බලා ආවා. ගම්පොළ ඩිපෝවට අයත් WP MA-6834 දරන බස් රථයේ රියැදුරු ලෙස සේවය කළේ කැකුලන්දර මහතායි. බස් එක ගම්පොළ බස් හෝල්ට් එකේ නතර කළ අවස්ථාවේ  තරුණියක් මගේ ජංගම දුරකතනයට කතා කරලා එයාගේ රන් ආභරණ පාර්සලයක් නැති වී ඇති බව කිව්වා. බස් එක ඩිපෝවට ගෙනාවට පස්සේ මම සොයා බලද්දී සීට් එකක් අස්සේ වැටී තිබී රන් ආභරණ පාසලය සොයාගත්තා.   මාල 02 ක්, ට්‍රේලර් එකක් හා පෙන්ඩන් 02 ක් එහි තිබුණි.


මා ඒ මොහොතේම මට කතා කළ තරුණියගේ ජංගම දුරකතනයට කතා කරලා රත්තරන් බඩු හමුවූ බව ඇයට කිව්වා. බස් රථයේ රියැදුරු නිහාල් කැකුලන්දරට ද මේ බව කියා මම රත්තරන් බඩු ටික ගෙදර අරගෙන ගිහින් පසුදින හෙම්මාතගමදී රන් බඩු ටික ඒවායේ අයිතිකාරියට බාර දුන්නා. අලුත් අවුරුදු දවසේ මේ වගේ දෙයක් කරන්න ලැබීම ගැන මම හුඟක් සතුටු වෙනවා. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. පොඩි දුව මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වුණා. බිරිඳ කුලියට රෙදි මහනවා. අපි ඉන්නේ කුලී ගෙදරක. අපිටම කියා ඉන්න ගෙයක් දොරක් නැහැ. මම බස් රථයේ තිබී අහුලාගත් රත්තරන් බඩු ටික මට තියාගන්නෙත් තිබුණා.



ඒත් අපිට මොකටද මහත්තයෝ අනුන්ගේ දේවල්. මීට පෙර අවස්ථා දෙකකදී ලක්ෂයක් විතර වටිනා රන් තැලක් හා රුපියල් 50,000 ක මුදල් පසුම්බියක් බස් රථයේ වැටී තිබී අහුලාගෙන ඒවායේ අයිතිකරුවන් වන මුස්ලිම් ජාතිකයන් දෙදෙනාට බාරදුන්නා. මගේ බිරිඳ කියන්නෙත් අනුන්ගේ දේවල් අපි තියාගන්න ඕනෑ නැහැ කියා” යැයි ප්‍රියන්ත කුමාර මහතා කීය.රන් බඩුවල අයිතිකාරිය වන ධනුකා සංජීවනී මෙනෙවිය පැවසුවේ, බැංකුවේ උකස් කර තිබූ රන් බඩු ටික උකසින් බේරාගෙන රැගෙන එද්දී බසයේදී නැති වී තිබෙන බව දැනගත් අවස්ථාවේ එම රන් බඩු නැවත ලැබේවි යැයි සිහිනෙන්වත් නොසිතූ බවය.


“රත්තරන් බඩු නැතිවීම ගැන මම පුදුම හිතේ අමාරුවකින් සිටියේ. අලුත් අවුරුද්ද පටන් ගත්ත දවසේ මගේ ඇස් දෙකෙන් ගලාගෙන ගිය කඳුළු නැවතුණේ ලංගම බස් එකේ ප්‍රියන්ත කුමාර කොන්දොස්තර මහත්තයා කතා කර නැති වූ රන් බඩු හමු වූ බව කිව්වාට පස්සේ තමා. ඔහු කළේ උතුම් ක්‍රියාවක්. මේ වගේ අය රටටම ආදර්ශයක්” යැයි ද සංජීවනී මෙනෙවිය  පැවැසුවාය.  

අපට මෙම තොරතුරු සොයා ගැනීමට සහාය වූ  කුලියාපිටිය ලංගම ඩිපෝවට අනුයුක්තව වේලා සටහන්කරුවකු ලෙස සේවය කරන දමිත් ඉන්දික සහ ගම්පොළ ඩිපෝවේ ධාවන කළමනාකාර සුගත් චන්දක ධර්මදාස යන මහත්වරුන්ට‍  විශේෂ ස්තූතිය පිරිනමන්නෙමු.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
(ඡායාරූපය -රොහාන් සී ප්‍රේමතිලක)

-------
[Send your emails to editor - editor@gossiplankanews.com]