ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ උප ජනාධිපති කමලා හැරිස් අනිද්දා (20) පැවැත්වීමට නියමිත දිවුරුම් දීමේ උත්සවයට සිය ඉන්දීය උරුමය සිහිපත් කරමින් සාරියකින් සැරැසී පැමිණෙනු ඇත්දැයි යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව වන කමලා හැරිස් එම ධුරයට පත් පළමු කළු ජාතික, පළමු ඇමෙරිකානු-අප්‍රිකානු සම්භවයක් ඇත්තිය, පළමු ඇමෙරිකානු ආසියානු සම්භවයක් ඇත්තිය මෙන්ම දකුණු ආසියානු සම්භවයක් ඇති පළමු තැනැත්තිය ද වන්නීය.
කමලා හැරීස් සාරියකින් සැරැසී උත්සවයට සහභාගී වුවහොත් බයිඩන්-හැරිස් පරිපාලනය ඇමෙරිකාවට නායකත්වය දෙන ආකාරය සහ ඔවුන් සුළු ජාතීන් නියෝජනය කරන ආකාරය සම්බන්ධයෙන් ලබාදෙන බලවත් පණිවුඩයක් සහ සංඥාවක් වනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අදහස් පළ කරති. මේ අතර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් සාරිය අඳින්නේ දැයි ආසියානු ඇමෙරිකානු කණ්ඩායමක් 2019 පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අතරතුරදී කමලා හැරිසන්ගෙන් විමසීය. නෙවාඩා හි පැවැති ඉසව්වකදී 2019 වසරේ දී කමලා හැරිස්ට මෙම ප්රශ්නය ඉදිරිපත් විය.
“අපි මුලින් දිනලා ඉමු" යැයි සිනහා සෙමින් කමලා හැරිස් ඊට පිළිතුරු දුන්නාය. “අපේ අම්මා අපි හැදුවේ අපේ සංස්කෘතික පසුබිම අගය කරමින් සහ ඒ අභිමානයෙන්. අපිට ඒ ගැන ලොකු අගයක් ඇති කළා. අපේ අග නම කොහොම කිව්වත් අපි හැමෝම අපේ උත්සවවලට සහභාගී වෙනවා. එය තමයි ජාතියක් විදියට අපි කවුද කියන එකේ ලස්සන" යැයි කමලා හැරිස් කීවාය. මේ අතර කමලා හිරිස් සාරියෙන් සැරිසී සිටින ඡායාරූප පළකිරීමටද ඇමෙරිකානු මාධ්‍ය පසුගිය දිනවල කටයුතු කර තිබිණ.
0 Comments