ශිෂ්‍යත්ව විභාගය සමත් වූ පුතා අලුත් පාසලකට ඇතුළත් කිරිම සදහා යතුරුපැදියෙන් සිය නිවස බලා යමින් සිටි වාලච්චේන පොලිසියේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු එම යතුරුපැදිය වැලිකන්ද කඩවත්මඩු  ප්‍රදේශයේදී
ගෑස් සිලින්ඩර් ප්‍රවාහන රථයක ගැටිමේන් මියගොස් ඇති බව වැලිකන්ද  පොලිසිය කියයි. පෙරේදා (23) රාත්‍රී මෙම මාරක අනතුර සිදුවී තිබිණි.  මෙසේ මියගොස් ඇත්තේ වාරියපොළ පොලිස් වසමට අයත් අවුලේගම පදිංචිව සිටි පී.එච්.බී. හේරත් (7I18I) නමැති පොලිස් කොස්තාපල්වරයකි.  මොහු දෙදරු පියෙකි. අනතුරින් මියගිය පොලිස් කොස්තාපල් හේරත් මහතාගේ වැඩිමහල් පුතා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170ක් ලබා සමත්ව සිටින අතර පුතා අලුත්ම පාසලකට අද (25) ඇතුළත් කිරීමට නියමිතව සිටි බව ද පැවැසේ.


ශිෂ්‍යත්වය සමත්වී සිටින පුතා අලුත් පාසලකට ඇතුළත් කිරිම සඳහා අවුලේගම පිහිටි නිවස බලා  යමින් සිටි අතරවාරයේ මෙම මාරක අනතුර සිදුවී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.  මාරක අනතුර සිදු වූ ස්ථානයේම කොස්තාපල්වරයා මියගොස් ඇති බවත් රියැදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-