ශ්වසන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ සයමස් ගැබිනි කාන්තාවක පෙරේදා (0) මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.  මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය, කොට්ටාව, රුක්මල්ගම, සමගි මාවතේ චන්දි අනූපමා උඩවත්ත නමැති 29 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.   දෙවැනි දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටි මෙම කාන්තාවට ඉකුත් 2 වැනිදා සවස හදිසියේ ඇතිවූ ස්වසන ආබාධයක්  හේතුවෙන් ප්‍රතිකාර සඳහා, පන්නිපිටිය සහ තලවතුගොඩ ප්‍රදේශවල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට ගොස් ඇති බව පැවැසේ.  එහිදී තලවතුගොඩ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී ගැබිනි කාන්තාව පරික්ෂා කළ වෛද්‍යවරයකු පවසා ඇත්තේ වහාම ප්‍රතිකාර සඳහා රෝගී කාත්තාව රජයේ රෝහලක් වෙත රැගෙන යන ලෙසයි.



ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඥාතීන්, ඒ ආසන්නයේම පිහිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මෙම කාන්තාව ඇතුළත් කර ප්‍රතිකාර කර ඇතත් 03 වැනිදා මෙසේ මියගොස් ඇති බව පොලිසිය කියයි.  ඒ අනුව මියගිය කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇත්දැයි පරික්ෂණයකට ද ලක් කර ඇති අතර ඉන් වාර්තාවී ඇත්තේ වයිරසය ආසාදනය වී නොමැති බවයි.  ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය මහරගම හදිසි මරණ පරික්ෂක සාම විනිසුරු එච්.එම්. ඩග්ලස් රූපසිංහ මහතා විසින් පෙරේදා (03) සිදු කරනු ලැබීමට නියමිතව තිබිණි.  මියගිය කාන්තාව දරු ප්‍රසූතිය සඳහා මාස හයක් තිස්සේ සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදිමින් ක්‍රියා කළ බවට අනාවරණය වී ඇති බවද පැවසේ.


- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-