වසර 04ක සිරදඬුවම් නියමකර ඇති රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ඉන් නිදහස් වීමට තිබෙන එකම විසඳුම ජනාධිපති සමාව පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ඊයේ (19දා) පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
 
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ මෙන්ම වත්මන් විපක්ෂය තමන්ගේ දේශපාලන වාසි සඳහා යොදා ගනිමින් සිටින බව සඳහන් කළ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා,

"අධිකරණයට අපහාස කිරීමේ නීතිය පිළිබඳ අපේ රටේ අවධානය යොමු කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳ කතා කරනවා. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳ පක්ෂ විපක්ෂ බෙදිලා අපි කතාකරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැත්තේ රන්ජන් රාමනායක මහතාට


අධිකරණයට අපහාස කිරීම කියන චෝදනාව ගොනු වෙන්නේ අපේ කාලයේ නෙවෙයි. ඒ කියන්නේ මේ චෝදනාව ඔහුට ගොනු වෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ. මහින්ද රාජපක්ෂ මහතාව අපි එකතු වෙලා අගමැති කළ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලබාදුන් විනිශ්චයකාරවරුන් අපක්ෂපාතීයි කියලා රන්ජන් රාමනායක කිව්වා.

ඒ විනිශ්චයකාරවරුන් දෙදෙනෙක් තමයි ඔහුගේ නඩුව අහලා මේ තීන්දුව දුන්නේ. ඒ නිසා එතුමන්ට විනිශ්චයකාරවරුන්ගේ බලපෑම මත දඩුවම් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. එතුමාම ඊයේ ඔහුගේ ෆේස්බුක් එකේ දාලා තියෙනවා ඔහුට සහ දුමින්ද සිල්වාට එකවිට ජනාධිපති සමාව ලැබුණොත් ඒක විශේෂ සිද්ධියක් වේවි කියලා. ඒ කියන්නේ රන්ජන් රාමනායක මහතාට තේරෙනවා තමුන්නාන්සේලාට නොතේරුණාට දැන් රන්ජන්ට තිබෙන එකම විකල්පය ජනාධිපති සමාව පමණයි කියලා.

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ආරක්ෂා කර ගැනීමට නෙවෙයි තමුන්නාන්සේලා උත්සාහ කරන්න ඕනි. රන්ජන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ගේන්න උත්සහ කරන්න තිබෙන එකම ක්‍රමය තමයි ජනාධිපති සමාව ගන්න එක. තමුන්නාන්සේලා කරන්නේ ඒක නෙවෙයි. රන්ජන්ව යොදා ගත්තා රනිල් වික්‍රමසිංහ මහත්මයා එයාට ඕනි වැඩේ කරන්න.

රන්ජන්ව කඩේ යැව්වා. දැන් රන්ජන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් අහිමි වෙනවා. ඒ වගේම අවුරුදු 07කට ප්‍රජා අයිතිය අහෝසි වෙනවා. තමුන්නාන්සේලා කරන්නේ  තවදුරටත් රනිල් වික්‍රමසිංහ කළා වගේම එතුමාව පාවිච්චි කරනවා තමුන්නාන්සේලාගේ දේශපාලන වාසි සඳහා. දැන් කළ යුතු වන්නේ ඒක නෙවෙයි. දැනට තිබෙන නීතිය වෙනස් කරන 66, 89, 90, 91, 105 සහ 125  මේ වගන්ති කියවලා බැලුවම අපිට පැහැදිලිවම පේනවා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට තිබෙන එකම ගැලවුම අඩු ගානේ ඊළඟ වතාවේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න නම් ඒ ජනාධිපති සමාව පමණයි" යනුවෙන් පැවසීය.
- දිනේෂ් සමරකෝන් -