පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල් සඳහා සිසුන් තෝරා ගන්නා ලකුණු මට්ටම් තීරණය කිරීම කුමන නිර්ණායක මත පදනම්ව සිදු කරන්නේදැයි යන්න පිළිබඳ ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු විය යුතු යැයි හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන වත්මන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 

හෙතෙම පෙන්වා දුන්නේ එක් එක් පාසලකට ලකුණක් තීරණය කර, එම පාසල් ජනප්‍රිය පාසලක් බව තීරණය කර ඇත්තේ කෙසේදැයි යන්න විනිවිදභාවයකින් යුතුව රටට අනාවරණය කළයුතු වන බවයි. පසුගිය කාලයේ දේශපාලනික පළිගැනීම්වලට භාජනය වූ පාසල් පහත් තත්වයකට ඇද දමමින් ලකුණු මට්ටම් නිර්ණය කිරීම පිළිබඳ තමන් විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළද, මේ වනතෙක් ඒ සඳහා වාර්තාවක් ලැබී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව මේ සම්බන්ධයෙන් තමන් අද (18දා) ජනාධිපතිවරයා දැනුවත් කරන බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, "එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 35 බැගින් ප්‍රශ්න පත්‍ර දෙකටම ලකුණු 70කට වඩා වැඩියෙන් ලබාගන්නා දරුවෙකු පහේ ශිෂ්‍යත්වය සමත් වූ දරුවෙක් වශයෙන් පිළිගැනෙනවා. මේ සඳහා මා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියදී 'ශිෂ්‍යත්ව විභාගය සමත්” යනුවෙන් සහතික පත්‍රයක්ද නිකුත් කළා.
මීට අතිරේකව ශිෂ්‍යත්වය සමත් වශයෙන් ලකුණක් තීරණය කරන ලද්දේ ශිෂ්‍යාධාරය ලැබීම සඳහා සුදුසු සිසුන් තෝරා ගැනීමේ නිර්ණායකයක් වශයෙනුයි. නමුත් මේ වනවිට පාසල් සඳහා වන කඩඉම් ලකුණු නිර්ණය කර තිබෙනවා. එය කෙසේ කුමන නිර්ණායකයක් පදනම්ව සිදුකරන්නේදැයි කිසිදු අදහසක් නැහැ. පසුගිය කාලයේ දේශපාලනික පළිගැනීම්වලට භාජනය වූ පාසල් පහත් තත්වයකට ඇද දමමින් ලකුණු මට්ටම් නිර්ණය කිරීම පිළිබඳව මා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත්, මේ වනතුරු ඒ සඳහා වාර්තාවක් මා වෙත ලැබී නැහැ. මේ හේතුවෙන් මීළඟ කැබිනට් රැස්වීමේදී මෙම ලකුණු මට්ටම් නිර්ණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටත් අදහස් කරනවා. ලංකාවේ එක් එක් පාසලකට ලකුණක් තීරණය කර එම පාසල් ජනප්‍රිය පාසලක් බව තීරණය කර ඇත්තේ කෙසේදෛයි විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට මෙන්ම සියලුම දරුවන්ට පැහැදිලි වන අයුරින් විනිවිදභාවයකින් යුක්තව හෙළිදරව් කළ යුතු බවට අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව සිසුන් මානසික පීඩනයන්ට ඇද දමන මෙම ශිෂ්‍යත්ව විභාග ක්‍රමය වෙනුවට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජනප්‍රිය පාසල් තුනක් පමණ ඇති කළ යුතුයි. එතුළින් සෑම සිසුවෙකු වෙතම ලැබිය යුතු පහසුකම් හා වරප්‍රසාද ලබාදිය යුතු ක්‍රමවේද සැකසිය යුතුයි.” යැයිද පැවසීය.
- නිදර්ශනී වික්‍රමසිංහ -