එල්.ටී.ටී.ඊ. ජයන්තන් බලකායේ හිටපු නායකයකුට අයත් පුපුරන ද්‍රව්‍ය තොගයක් මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (3) සවස සොයාගනු ලැබිය.  ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 59ක් ද වෝටර් ජෙල් කරල් 729ක් (කිලෝ 93ක් ද) සේවා නුල් මීටර් 1,780ක් ද කළු කුඩු ග්‍රෑම් 500ක් ද බට්ටෝ රතිඤ්ඤා  31ක් හා ඇළුමිනියුම් බට 105ක් ද මෙසේ සොයා ගන්නා ලද අතර මේ සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. හිටපු නායකයා ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (4) පැවැසීය. අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් තැනැත්තා එම එලී. ටී.ටී.ඊ. හිටපු නායකයාගේ ගෝලයකු බව ද ඔහු කීවේය.



මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුපුරන ද්‍රව්‍ය සොයාගනු ලැබ ඇත්තේ මඩකලපුව කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරින් ලබාදුන් තොරතුරක් අනුවය. හිටපු එල්.ටී.ටී.ඊ. නායකයාගේ උපදෙස් මත ඉහත සඳහන් කළ ඔහුගේ ගෝලයාගේ කරදියනාරු නිවෙසේ පිටුපස සඟවා තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. පොහොර තොගයක් බව අඟවමින් පුපුරණ ද්‍රව්‍ය  තොගය මෙසේ සගවා තිබී ඇතැයි පවසන විමර්ශන නිලධාරීහු පුපුරණ ද්‍රව්‍ය සැඟවූ නිවෙස පිහිටා ඇත්තේ කරදියනාරු  පොලිසියට මීටර් 200ක් පමණ දුරින් යැයි ද ප්‍රකාශ කරති.


අත්අඩංගුවට ගනු ලැබූ එල්.ටී.ටී.ඊ. හිටපු නායකයා 1991-1994 කාලයේදී එම සංවිධානයේ කටයුතු කළ අයකු බවටත් ඉන් අනතුරුව විදේශගතව සිට මෑතකදී යළි මෙරටට පැමිණි අයකු බවටත් පොලිසියටත් තොරතුරු හෙළි වී තිබේ.  මොවුන් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙසේ සඟවා තබාගෙන සිටින්නට ඇත්තේ කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සඳහා විය හැකි යැයි සැක කරන පොලිසිය  ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යයි.

-සුජිත් හේවාජුලිගේ-