සංචාරකයන්ට රට විවෘත කිරීමේ කෑදරකමින් ජන ජීවිත අවුල් කිරීම වරදක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ (7)පැවසූහ.
සංචාරක ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල පරිසර පද්ධතිය විනාශ කරන්නට ඉඩ දෙන්නේ නැතැයි කී කාදිනල්තුමෝ සංචාරකයන් ගෙන්වා ගැනීමට වඩා වැදගත් වන්නේ රටේ ජනතාවගේ ජීවිත සුඛිතමුදිත කිරීම බවද සඳහන් කළහ.
ඇතැමුන් කුණු ගෙන්වමින් රටම කුණු බක්කියක් කරමින් සිටින බව කී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ එවැනි අය ආරක්ෂා කරන ආණ්ඩුව ඉන්නේ රෙදි ඇඳන්ද යන්න ගැටලුවක් බව ද කීහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ බොරැල්ල, අගරදගුරු නිල නිවසේදී ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකදීය. "හුස්ම දෙන හරිත පෙනහල්ල" මුතුරාජවෙල සුරකිමු යන තේමාව යටතේ මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.
කොළඹ අගරදගුරුතුමෝ මෙසේද කීහ.
“මුතුරාජවෙල සහ මීගමුව කළපුව ආශ්රිත රක්ෂිත ප්‍රදේශයේ අක්කර 700ක් පමණ බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික සමාගමකට ලබාදී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ හදවත බඳු මුතුරාජවෙල පරිසර පද්ධතියට තර්ජනයක් වන ව්‍යාපෘතියක් මුලින්ම ක්‍රියාත්මක වුණේ 1991 වසරේදීයි. අපි එදත් එයට විරුද්ධ වුණත් එදා තිබූ ප්‍රේමදාස මහතාගේ රජය එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. එහි ඕලන්ද ඇළ සහ හැමිල්ටන් ඇළ අතර ප්‍රදේශය 1996 වසරේදී රක්ෂිත කලාපයක් ලෙස නම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එහෙත් 2006 වසරේ පරිසර ඇමතිවරයාව සිටි මෙත්‍රීපාල සිරිසේන මහතා එම භූමිය සංවර්ධනය කළ හැකි බවට සඳහන් කරමින් සූක්ෂම ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
මෑතකදී එම භූමියේ කොටසක රක්ෂිතයක් බව සඳහන් පුවරු ගලවලා එය පෞද්ගලික සමාගමකට අයත් ඇතුළුවීමට නොහැකි භූමියක් බව සඳහන් පුවරු සවිකර තිබෙනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලය හරහා එක්තරා සමාගමක් මුදල් ගෙවා මෙහි අක්කර 700 ලබාගෙන සංචාරකයන් උදෙසා හෝටල්, ගොල්ෆ් ක්‍රීඩා පිටි, ව්‍යායාම ස්ථාන ආදිය ගොඩනැගීමට යනවා. මුතුරාජවෙල කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැසි ජලය මුහුදට ගලා යන පෙනේරයක් වැනි ස්වභාවික පරිසර පද්ධතියක්. රටට ආවේණික කුරුලු, මත්ස්‍ය ආදී සත්ව විශේෂ රැසක් එහි ජීවත් වෙනවා. සමහර මැති ඇමතිවරු මෙහි කොටස් අවිද්‍යාත්මකව තමන්ගේ හිතවතුන්ට විවිධ ව්‍යාපෘති සඳහා දීම කලක සිට සිදුවී ඇතත් අක්කර 700ක් වැනි විශාල ප්‍රමාණයක් දී ඇත්තේ පළමු වතාවටයි. මෙවැනි දේ හරහා සිදුවන්නේ සංවර්ධනයක් නෙවෙයි. මෙයින් ජලය බැසයාම අවහිර වී ගම්පහ දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තර්ජන ඇති වී ජන ජීවිත අවුල් විය හැකියි. ඒ නිසා මෙය කරන්න දෙන්න බැහැ. රටක පාලකයන්ට, ආර්ථිකය මෙහෙයවන සමාගම්වලට හෝ විදේශීය බලවේගවලට මේ රට අයිති නැහැ. රට අයිති මේ රටේ ජනතාවටයි. රට පාලනය කරන අයට වසර 5ක 6ක කාලයකට රට බලාගන්නා වගකීම මිස අයිතිය ලබාදී නැහැ. අපට මේ ජෛව පද්ධති විනාශ කරන්න ඉඩදෙන්න බැහැ. ඒ නිසා කරුණා කරලා අපේ ජීවිත අවුල් කරන්න එන්න එපා.
පෞද්ගලික සමාගමකට අයිති ඉඩමකි කියා මෙහි පුවරු අලවන්නේ කොහොමද? එයට අවසර දුන්නේ කවුද? මෙය ජනතාවට අයිති ඉඩමක් බවට නැවත පත්විය යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන් ලංකාවට ලොකු දෙයක් වී නැහැ. ඒ නිසා එය ඔළුව උඩ තබාගෙන කටයුතු කළ යුතු නැහැ. සංචාරකයින් ගෙන්වා ගැනීමට වඩා ජනතාවගේ ඕනෑ එපාකම් ඉටුකිරීම වැදගත්. කළ යුත්තේ පිටරැටියන් මෙහි පිරවීම නෙවෙයි. මේවා විකුණනන්න බදු දෙන්න මේ කාගේත් පෞද්ගලික බූදලයක් නෙවෙයි. කාට හෝ ව්‍යාපාර කරන්න ඕනෑ නම් තමන්ගේ පෞද්ගලික බූදලයක කරගන්න පුළුවන්.
කරුණාකරලා ප්‍රදේශයේ ජනතාව මෙයට උදව් කරන්න එපා. කාටවත් මේ ඉඩමට අත තියන්න මීසම් බාර පියතුමන්ලා ඉඩදෙන්න එපා. ජනතා දේපළවලට අයිතිය කියන්න කවුරු හරි එනවා නම් ජනතාව ඊට විරුද්ධ විය යුතුයි. අපි සැමවිටම ජනතාව සමග ඉන්නවා. ජනතාව මෙයට එරෙහිව සංවිධානය කරන ලෙස මීසම් බාර පියතුමන්ලාගෙන් ඉල්ලනවා. පරිසර ඇමතිවරයා වහාම අපේ ඉල්ලීම ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ මෙසේ පවසූහ.
“මේ වන විට මුතුරාජවෙල අක්කර 1000ක පමණ ප්‍රමාණයක් කූඨ ව්‍යාපාරිකයින් විසින් වනසමින් තිබෙනවා. මැල්වත්ත නම් සමාගමක් මෙහි අක්කර 700ක් පමණ විනාශ කරක්නට සැරසෙනවා. මෙය ක්‍රියාත්මක වුවහොත් නැතිවන්නේ ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කවල ජනතාවගේ ජීවත්වීමේ අයිතියයි. මේ පරිසර පද්ධතිය විනාශ වුණොත් මේ දිස්ත්‍රික්ක දෙකේම ජනතාවට ජල ගැලීම් හේතුවෙන් දැඩි ගැටලු ඇතිවිය හැකියි.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ, මුතුරාජවෙල සුරකිමු සංවිධානය නියෝජනය කරමින් දිනුෂ නානායක්කාර යන මහත්වරුද අදහස් දැක්වූ අතර මුතුරාජවෙල අවට මීසම් බාර පියතුමන්ලා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඩයනා උදයංගනී)
0 Comments