හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාමයේ පිහිටි බෝධින් වහන්සේ මූලයෙහි සිදුහත් බෝසතාණන් බුදු වූවා යැයි රට පුරා පතුරුවන මතය පිළිබඳ වහාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු අංශ ජනතාවට පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් එසේ වන්නේ නම් භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකා, සිවුවනක් පිරිස බරපතළ අර්බුදයකට මුහුණ පාන බව මහාවිහාර වංශික සියම් මහා නිකායේ වනවාස පාර්ශවයේ මහා ලේඛකාධිකාරි වෙහෙරයායේ සිරි සුධම්ම නාහිමියෝ පැවසූහ.
හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාමයේ පෙරේදා 13දා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
විහාරාධිපති බොරලැස්ගමුවේ සුමේධ හිමියෝද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුධම්ම හිමියෝ,
"හිරිවඩුන්න බෝධිරාජ ආරණ්‍ය සේනාසනය මුල් කරගෙන ඇති වී තිබෙන මතභේදාත්මක කාරණාව සම්බන්ධයෙන් බෞද්ධ ප්‍රජාව තුළ මෙතුවක්කල් ඛණ්ඩනය නොවී ආපු විශ්වාසය අනන්‍යතාව බෞද්ධ සිත්වල දෙදරා යාම මතුවෙලා තිබෙනවා. එය ශාසන අන්තරායක් හැටියටයි අපි දකින්නේ. වගකිව යුතු සාසන බලධාරි මහතෙරුන් වහන්සේලා හමුවෙලා මෙයට විසඳුමක් ලබාදීමට උත්සාහ කළ යුතුයි.
මෙම කාරණාව මුල් කරගෙන විශාල ගැටලු ඇතිවිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ලෝකයට පහළ වන්නේ සත්ත්වයාට නිවන් මග කියා දෙන්න. ඒක දැන ඉගෙන ගෙන පරිහරණය කරලා පුළුවන් පිරිසට ඒ උතුම් මාර්ග උපදේශනය කළ හැකියි. හැබැයි පදනම්එ විරහිත ප්‍රකාශ ශාසන ඉතිහාසයට මහා අන්තරායක් හැටියට දකිනවා.
දැන් බෞද්ධ ජනතාව අතරමං වෙනවා මොකක්ද විශ්වාස කරන්නේ කියලා බෞද්ධයා කියන කෙනා තමා බෞද්ධයෙක් යැයි කියන්න ගන්න මේ තරම් අපහසු වෙනකොට ඇත්තටම බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ පිළිබඳ සැකයකින් බලන්න ඉදිරිපත් වේව්. මේක තමයි සාසන අන්තරාය. මේ පූජනීය ස්ථානය අපේ සංඝ සභාවට අයත් ස්ථානයක්. එතකොට අපේ උත්තරීතර මහා සංඝ සභාවට මහා කැළලක් ඇති වෙනවා.
මෙතන බුදු වීම ගැන කතා කරන කණ්ඩායම මෙම ස්ථානයේ වැඩ ඉන්න බුද්ධ පුත්‍රයාණන් වහන්සේටවත් ගරු කරන්න දන්නේ නැතුව කොහොමද බුදු වෙච්ච ස්ථානය හොයාගෙන එන්නේ. මේක බරපතළ ප්‍රශ්නයක්. ගමේ අහිංසක මිනිස්සුන්ට මොන තරම් පීඩනයක්ද ලබා දීලා තියෙන්නේ.
අපේ දිවයින පුරා විසිරි ඇති සංඝ සභාවක්. තුරුවිල ශ්‍රී ඤානානන්ද මහා නාහිමියන්ගෙන් ආරම්භ කළ එකක්. අපේ සංඝ සභාවට මේ පිළිබඳ විවිධ ලිපි ඉදිරිපත් වුණා. පසුව අපි සංඝ සභාව රැස් වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී අපේ පාර්ශවයේ අතිගරු මහානායක පස්ගොඩ ජිනවංශාභිධාන මහනාහිමියන්ගේ අනුනායක මහා නාහිමිපාණන් ඇතළු කාරක මහා සංඝ සභාව විහාරාධිපති වහන්සේට මේ පිළිබඳ සංඝ සභාවේ අදහස ලිඛිතව දැනුම් දී තිබෙනවා.”
මෙහිදී අදහස් දැක්වූ විහාරාධිපති බොරලැස්ගමුවේ සුමේධ හිමියෝ මෙසේ පැවසුහ.
"පසුගිය 8වැනිදා විහාරස්ථානයට විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා සමඟ කණ්ඩායමක් එනවා. හැබැයි ඒ ආවේ බුදුරජාණන් වහන්සේ මෙරට ඉපදුණු බුදුවුණු පිරිනිවන් පෑ බව කියන මතය ජනගත කරන කණ්ඩායමක් එක්ක. අමාත්‍යවරයා පැමිණෙන විට අපට දැනුවත් කරලා තිබුණෙවත් නැහැ. ඇවිල්ලා පළමුවෙන් කතාබහ කළේ ඒ අය සමග පැමිණි කණ්ඩායම එක්ක. විහාරස්ථානයේ හාමුදුරුවෝ හැටියටත් ප්‍රාදේශීය මහා සංඝරත්නය හැවියටත් අපි පසුව බලහත්කාරයෙන් තමයි මේ කතාවට මැදිහත් වුණේ. මේ පිරිස ඉල්ලා සිටිනවා අපේ බෝධීන් වහන්සේ ළග තියෙන මල් ආසනයක් විවෘත කරන්න කියලා එම මල් ආසනය වජිරාසනය කියලා තමයි මේ කණ්ඩායම කියන්නේ. අපි ඉගෙන ගත්ත පරිදි අහල තියෙන්නේ බෝසතාණන් වහන්සේ ඉන්දියාවේ බුද්ධත්වයට පත් උනා කියන කාරණාව. මේ පිරිස ඉදිරිපත් කරන මතයත් එක්ක වර්තමානයේ සමාජයේ බෞද්ධ සමාජය අතර අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මම දිවයිනේ සෑම මහානායක ස්වාමීන් වහන්සේ නමකටම වලට වගකිවයුතු පාර්ශවවලට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තුමා වහාම මේ පිළිබඳව ප්‍රකාශයක් කරන්න ඕන. මේ ස්ථානයේ පවතින නටඹුන් සම්බන්ධයෙන් මොකක්ද ඔවුන් දරන මතය කියලා. එහෙම නැත්තං බෞද්ධයන් නොමග යනවා. එහි නිවැරදි කිරීමේ වගකීම පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යාංශය විෂයභාර බලධාරින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ආදී සියලු පාර්ශව මෙයට මැදිහත් විය යුතුයි.”
- කාංචන කුමාර ආරියදාස -
0 Comments