කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියට එරෙහිව සෘජුව කටයුතු කරන සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ
පොලිස් නිලධාරීන්ට ජනවාරි 29 වන සිකුරාදා වන විට කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය
බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
 

ඔහු සඳහන් කළේ, එළඹෙන 28 වන දා වන විට Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දියානු
නිෂ්පාදනය වන Covishield එන්නත මෙරටට ලැබෙන බවත් එය භාර ගැනීමට සහ පළමු වටෙය්දී
එන්නත් ලබා දෙන පිරිස් වෙත එය බෙදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

ඒ අනුව, එම එන්නත් තොග ගුවන්තොටුපළෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මධ්‍යම ගබඩාව වෙත ප්‍රවාහනය
කර එහි සිට ප්‍රාදේශීය ගබඩා 26කට බෙදා හැරීමට නියමිතය.  

පසුව එම එන්නත් ලබා දිය යුතු ප්‍රදේශවලට ප්‍රාදේශීය ගබඩාවල සිට ප්‍රවාහනය කරන බව වෛද්‍ය
හේමන්ත හේරත් මහතා පැවසීය.

එමෙන් ම, සියලු ම ආයතන සඳහා එන්නත් ලබා දීමේ මාර්ගෝපදේශ ලබා දීමට ද නියමිතය.

මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 58,430 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 54,451
දෙනෙකු ම මෙරට ඇති වූ දෙවන කොරෝනා රැල්ලෙන් හඳුනාගත් ආසාදිතයෝ වෙති.

අද මධ්‍යාහ්නය වන විට මෙරටින් කොරෝනා මරණ 283ක් වාර්තා වුණු බව ද වෛද්‍ය හේමන්ත හේරත්
මහතා වැඩිදුරටත් පැවසීය.

ඩිලන්ති ජයමාන්න සහ තාරක සම්මාන්