මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ වෛරස තත්වයේ ප්‍රභේදවල වෙනස්කම් සිදුව ඇති බවට කරුණු අනාවරණයවීම නිසා ඒ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය දැනටමත් ජාන විශ්ලේෂණ පර්යේෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.


 එම ආයතනය වෙත පී.සී.ආර්.පරික්ෂණ සිදුකිරීම සඳහා ලබාදී තිබූ ජෛව සාම්පල හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව මත යොමුකර ඇති සාම්පල යොදාගනිමින් අදාළ පර්යේෂණය සිදුකරන බව එහි  අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේය.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ආරම්භ වූ පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පී.සී.ආර්. පරීක්ෂණ 80,000 ක් පමණ සිදුකර තිබෙන අතර පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් එම ආයතනය සිදුකර ඇති දෛනික පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,200කි.  මාසය පුරාවටම පී.සී.ආර්. පරීක්ෂණ 36,000 ක් පමණ සිදුකර ඇත.මේ අතර කෑගල්ලෙන් මෑත කාලය තුළ වාර්තාවන ආසාදිතයන්ගේ රෝග ලක්ෂණවල වෙනස්කම් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (08) ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් නිසි පර්යේෂණ සිදුකිරීම සඳහා අදාළ තත්වය පිළිබඳව ලිඛිත තහවුරු කරගැනීමක් සිදුකර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබුණි.

ඉන් අනතුරුව එම ආසාදිතයන්ගේ ප්‍රභේදවල වෙනස්කම් ඇත්ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීමට හැකියාව පවතින  බවයි එහි ප්‍රකාශකයෙක් කියා සිටියේය.