ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන පසු ප්‍රසව විශාද තත්වයට සාපේක්ෂව එහි වැඩි ප්‍රවණතාවක් කෝවිඩ්-19 තත්වය හමුවේ කාන්තාවගෙන් දක්නට ලැබෙන බව කාසල් වීදියේ කාන්තා රෝහල මගින් සිදු කළ මනෝ වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම තත්ත්වයට ගොදුරු වීම තුළ ඇතිවන මනෝමීය සංකුලතාවන් කාන්තාවකට දීර්ඝ කාලීනව බලපානු ලබන බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වූ විශේෂඥ වෛද්‍යවරයා,

"කෝවිඩ් තත්ත්වය නිසා ලංකාවේ මනෝ වෛද්‍ය පර්යේෂණවලින් දැනට අපිට දක්නට ලැබෙන කරුණු මොනවාද කියා බැලිය යුතුයි. කාසල් වීදියේ රෝහල මගින් සිදු කළ මනෝ වෛද්‍ය පර්යේෂණයකින් හෙළිව තිබෙනවා පසු ප්‍රසව විශාදය, ඒ කියන්නේ බබෙක් ලැබුනාට පසු අම්මා කෙනෙක්ගේ ඇතිවන මනෝ සංකුලතාව ගැන. මෙහිදී හෙළිව තිබෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ දක්නට ලැබෙන පසු ප්‍රසව විශාදයට වඩා වැඩි ප්‍රවණතාවක් කෝවිඩ් වසංගතය අතරතුර හමුවලා තිබෙනවා කියලා.

මෙවැනි තත්වයක් ඇති වුණාම අපට ඇති වන මනෝමීය සංකුලතා අදට පමණක් නොවෙයි දශක ගණනාවකට බලපානවා. දරුවෙකු ඉපදුණාට පසු දරුවා සහ මව අතර ඇතිවන ධාරක ස්නේහය දරුවෙකුගේ මනෝ භාවයට ඉතා වැදගත් දෙයක්. මෙම දාරක ස්නේහය හරියට ගොඩ නැගුණේ නැත්නම් එම දරුවා වැඩිහිටියෙක් වුණාමත් විශාදය, කාන්සාව වැනි මනෝමීය සංකුලතා ඇතිවිය හැකියි.

එවිට දරුවා ඉපදුණාට පසු පළමු මාස තුළ අම්මා විශාදයෙන් පෙළෙනවා නම්, අම්මාට වෙනදාට වඩා තරහා යනවානම්, දරුවා දිහා බලලා මුහුණින් සිනාසෙන්නේ නැත්නම් ඒ දරුවාගේ මනෝමීය සංකූලතා ඇති වෙන්න පුළුවන්” යනුවෙන්ද පෙන්වා දුන්නේය.


- නිදර්ශනී වික්‍රමසිංහ -