කොවිඩ් හේතුවෙන් වසා දැමුණු උපකාරක පන්ති  ජනවාරි මස 25 වැනිදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

 ඇමැතිවරයා මේ ගැන ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වේ

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය (ස.ජ.බ.) වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද කීය.

 

කොවිඩ් ප්‍රශ්නය නිසා පාසල් නිල ඇඳුම එකවර රටටම දීමේ හැකියාවක් නැහැ. පාසල් නිල ඇඳුම ක්‍රම ක්‍රමයෙන් දිස්ත්‍රික්කවලට යවනවා. සමහර දිස්ත්‍රික්කවලට දැනටමත් යවලා තියෙනවා. පාසල් විවෘත කර නොමැති හෙයින් නිල ඇඳුම් කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවලට ලබා දෙනවා. පාසල් විවෘත කළ ගමන් ඒවාට යොමු කරනවා. කොවිඩ් ප්‍රශ්නය නිසා කිසියම් ප්‍රමාදයක් ඇති වුණු බව පිළිගන්නවා. නිල ඇඳුම ඉක්මනට අවශ්‍ය බව සැපයුම් සමාගමට ඊයේ දැනුම් දුන්නා. දුරස්ථ අධ්‍යාපනය අධ්‍යාපනයට සම්පූර්ණ විසඳුමක් නොවෙයි. 

 

රටේ සමහරක් දිස්ත්‍රික්කවල දුරස්ථ අධ්‍යාපනයට යෑමේ බාධා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. දුරස්ථ අධ්‍යාපනය පන්ති කාමරයට ආදේශ කළ හැකි විකල්ප විසඳුමක් නොවෙයි. ඒක අමතර වැඩපිළිවෙළක් පමණයි. ජනවාරි 11 වැනිදා පටන් ගත්තේ පාසල්වල පළමු වැනි වසරයි. සමහර පාසල්වල විෂය නිර්දේශවලින් තුනෙන් දෙකක් කරලා ඉවරයි. රටේම එහෙම නොවෙයි. ඒ වැඩපිළිවෙළේ යම් යම් වෙනස්කම් කරන්න අවශ්‍ය නම් ඒක කරන්න සුදානම්. විදුහල්පතිවරුන් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය කටයුතු කරනවා. දැනට ඒ පාසල්වල දෙගුරු සාකච්ඡා කරගෙන යනවා. අඩුපාඩු නිවැරැදි කරන්න සූදානම්.
- සුජිත් හේවාජුලිගේ -