කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට හැකිවනු ඇතැයි විශ්වාස කර  කෑගල්ලේ ධම්මික පැණිය තමා ද බිරිඳ හා සිවු  නිවුන් දරුවන්ද පානය කළ නමුත් වයිරසය තම පවුලටම ආසාදනය වූ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා  ඊයේ (17) පැවසීය.  ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා ඔහුගේ බිරිඳ සහ සිවූ නිවුන් දරුවන් ද මේ වනවිට ඇඹිලිපිටියේ පිහිටි යොවුන් සේනාංක ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.  ශිලන්ත මහතා පෞද්ගලික දුරකතන සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් ද දරන අතර කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 


ධම්මික පැණිය පානය කළ තමාගේ  සහෝදරයාට ද ඇතුළු ඥාතීන් හා හිතවතුන් සැලකිය යුතු පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා  පැවසීය. මෙම පැණිය පානය කළ තමාගේ සහෝදරයාට ද එම වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වූ බව ද මන්ත්‍රීවරයා  පවසයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට දුරකථනයෙන්  සමග සම්බන්ධ  වෙමින් වැඩිරටත් මෙසේද කීය.  මට අවුරුදු අට වයසේ පසුවන සිවු නිවුන් දරුවන් සිටිනවා. වැඩි පරිස්සමට වැඩි ධම්මික පැණිය සිවු නිවුන් දරුවන්ට ද ලබාදී මමත් මගේ බිරිඳත් දින දෙකක් නියමිත මාත්‍රාවට පානය කළා. මස් මාළු බිත්තර කෑමෙන් වැළකුණා. වත් පිළිවෙත් අකුරටම රැක්කා. ඒ වගේ දේවල් පැණිය බොන කාලයේ කරන්න එපා කියා උපදෙස් ලැබී තිබුණා. ඒ නිසයි එහෙම කළේ. මම  මෙහි සිටින වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් කටයුතු කරනවා. ඔවුන් රෝගීන්ට හොඳින් ඇප උපස්ථාන කරනවා. රජයෙන් මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට ලොකු වියදමක් දරනවා.


මම පැණි බෝතලය ඔහුගේ අතින්මයි ලබාගත්තේ . ලොකු දුවට උණ හැදුනා. ඒ නිසා ඇන්ටිජන් පරික්ෂණය කළා. එම පරික්ෂණයේදී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වුණා. ඊට පස්සේ අනෙක් දරුවන් තිදෙනා, මම හා  බිරිඳ එම පරීක්ෂණයට  යොමු වුණා. අපිටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ වනවිට අපි හය දෙනාම ඇඹිලිපිටිය නගරයේ යොවුන් සේනාංක ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.  මෙහි සිටින වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් කටයුතු කරනවා. ඔවුන් රෝගීන්ට හොඳින් ඇප උපස්ථාන කරනවා. රජයෙන් මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට ලොකු වියදමක් දරනවා.


මම  හෙට්ටිමුල්ලේ පිහිටි මගේ නිවසේ සිට කිලෝමීටර් 02ක පමණ දුරින් වේද මහත්තයකු බව කියන ධම්මික නමැති අය පදිංචිව සිටිනවා. ඒ නිසා එම පැණිය සාර්ථක වෙන්න කියා මුහුණ පොතේ සටහනක් ද තැබුවා. නමුත් මෙය කොරෝනා වයිරසයට ප්‍රතිකාරයක් නොවන බව දැන් පැහැදිලියි.  රටේ හතර දිග් බාගයෙන් ධම්මික පැණිය අරගන්න මිනිස්සු පොදි කකා ආවා. ඒ නිසා අපේ පළාතෙත් කොරෝනා වයිරසය පැතිරයාමට මෙය බලපෑවා කියා විශ්වාස කරනවා යැයි ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා  කීය.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-