කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ පැණිය මිලදී ගැනීමට තමන් ගිය පසුව ඔහුගේ අසාමාන්‍ය අඩන්තේට්ටම් වලට ලක්වූ බවට පේරාදෙණිය රෝහලේ දත්න ශල්‍ය වෛද්‍ය එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාර පොලිසියට කළ පැමිණිල්ල අනුව එය විභාග කරන්නට ඊයේ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට

ධම්මික බණ්ඩාර හා දන්ත වෛද්‍යවරයාව කැඳවා තිබුණි.
එහිදී ධම්මික බණ්ඩාර පොලිසියට පවසා ඇත්තේ තමා ආවේශවීමකට ලක්ව සිදු කළ දේවල් කාලි මෑණියන් විසින් සිදු කරන්නට ඇතැයි විශ්වාස කරන බවත් තමා කළ දේවල් මතක නැති බවත්ය. කෙසේ වෙතත් බලහත්කාරයෙන් වෛද්‍යවරයා ස්වයං පාපොච්චාරණ සිදුකරන වීඩියෝවක් පටිගත කළ බව ධම්මික බණ්ඩාර  පොලීසියේදී පිළිගෙන ඇත.

 කෙසේ වෙතත් තමා අතින් වරදක් සිදුවී ඇති නම් ඒ ගැන සමාව භජනය කරන ලෙස ඔහු පොලිසිය ඇතුළේදී පවසා තිබේ. නමුත් දන්ත වෛද්‍යවරයා එම සමාව ගැනීම සිදු කළ ආකාරය ගැන මුළුමණින් එකඟවී නැති අතර සිදුවීම ගැන දැන් රටම දන්නා බැවින් සමාව ගැනීම ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ සිදු කළ යුතු බවට දන්වා ඇත.

එම අවස්ථාවේදී ‘හා මං ඒක එහෙම කරන්නම්‘ යයි ධම්මික දන්වා ඇති අතර මේ නිසා සිද්ධිය සමථයකට පත් කර ගොඩින් බේරා දී දෙන්නාව පොලිසියෙන් පිටත් කර ඇත.

කෙසේ වෙතත් මාධ්‍ය  ඉදිරියේ සමාව ගන්නා බව දන්වා සිටි ධම්මික බන්ඩාර පොලිසියෙන් එලියට ඇවිත් සිටි අවස්ථාවේ ඔහුට දිගු කළ මාධ්‍ය මයික්‍රෆෝන ඉදිරියේ එවැනි සමාව ගැනීමක් සිද්ධ කළේ නැත. ‘මං ඒ ගැන කතා කළා මුකුත් වුණේ නැහැ. එච්චරයි ‘ කියා ඔහුට අයත් සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයට නැගී පොලීසියෙන් ඔහු සිනහසෙමින් පිටව ගොසින් තිබුණි.

මේ අතර ධම්මික බණ්ඩාර ප්‍රවර්ධනය කරන විද්‍යුත් නාලිකා ඊයේ සිද්ධිය නොමග යන ආකාරයකට වාර්තා කර තිබූ අතර වෛද්‍යවරයා පාපොච්චාරණය කරමින් සමාව ගන්නා (බලෙන් පටිගත කරගත්) වීඩියෝව සිය ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා විකාශය කර තිබුණි.