අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා විවෘත තරඟකාරී මිල ගණන් කැඳවීම එළඹෙන පෙබරවාරි මසදී ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අමාත්‍යාංශය සඳහන් කර සිටියේ ඩිජිටල්කරණයට අදාළ සංකල්ප පත්‍රිකාව මේ වනවිට සකස් කර අවසන් කර ඇති බවයි. ඒ අනුව අධිකරණ ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරි සතිය තුළ අත්සන් කිරීමට අපේක්ෂා කෙරෙන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු පවත්වාගෙන යෑම මේ වනවිටද අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අතර, එම පහසුකම තෝරාගත් බන්ධනාගාර වෙතද ලබාදී තිබේ.

මේ අතර කොළඹ දිසා අධිකරණයේ කාර්යාලවල මේස මත ලේඛන වාර්තා විශාල වශයෙන් ගොඩ ගැසී ඇති බැවින් සියලු ලිපිලේඛන පරිගණකගත කිරීමට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පසුගියදා තීරණය කළේය. ඒ අනුව එම කටයුතු කඩිනමින් සිදු කරන ලෙසද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.
- නිදර්ශනී වික්‍රමසිංහ -