සැප සම්පත්වලින් පිරී පවුලක පියා, මව හා දරු දෙදෙනා සමග පවුලේ සාමාජිකයන් හතරදෙනාම ගිහි දිවිය අතැර නව වසරේ පළමුවෙනිදා සුබ මොහොතින් සසුන්ගත වීම සදහා විසූ නිවසින් නික්ම ගියහ.  එලෙස ගිහි දිවියට සමුදුන් ඔවුන් පොල්පිතිගම නගරයේ , නාගොල්ල පන්සල් පාරේ පදිංචිව සිටි එස්. ඒ. ගාමිණී කුමාරසිංහ (අවු 38) මහතා, ඔහුගේ දයාබර බිරිද ඒ. එම්. සමුද්‍රා කුමාරී අත්තනායක (අවු 32) මහත්මිය, අවුරුදු 16ක් වයසැති එස්. ඒ. කවිශ්කා සංජනී දියණිය හා අවුරුදු 13ක් වයසැති එස්. ඒ. සදීප කෞෂල්‍ය ධනංජය කුමාරසිංහ නමැති තම බාල පුතු මෙලෙස සසුනට පිවිසීම සඳහා නව වසරේ 01වෙනිදා පෙරවරුවේදී එකට වාසය කර විසු නිවහනින් නික්ම මැල්සිරිපුර මඩහපොළ නාඋයනේ ආරණ්‍ය සේනාසනය බලා පිටත්ව ගියහ.


අක්කර ගණනාවක පොල් වත්තක හිමිකරුවෙකු වන ගාමිණී කුමාරසිංහ මහතාගේ එම ගෙවත්තේ පැපොල් වගාවක් මෙන්ම සාර්ථක ඉගුරු වගාවක් හා කහ වගාවක අස්වැන්න නෙලන්නට ආසන්නව තිබියදී ඒ සියල්ලත්, තම නිවසත්, නීතිඥයන් ඉදිරිපිටදී පවුලේ අයට නීත්‍යනුකූලව පවරා පොල්පිතිගම නගරයේ පවත්වාගෙන ගිය පලතුරු කඩයෙන්ද ඉවත්ව පැවිදි දිවියට ඇතුලත්වීමට යන ගමනේදී නිවසේ තිබූ යතුරුපැදි, පාපැදි අතුළු බොහොමයක් අහල පහල අයට හා හිතවතුන්ට නොමිලේ ලබාදීමටද නිවැසියන් පියවර ගෙන තිබුණි.

එසේ නික්ම යාමට මත්තෙත් ගාමිණී කුමාරසිංහ මහතා අප හා කී දේට අපි සවන් දෙමු. "මගේ උපන් ගම ගල්ටැංවැව. මගේ අම්මා තාත්තා තවම ඉන්නවා. මට සහෝදර සහෝදරියන් 11 දෙනක් ඉත්නවා. මම පවුල් අටවෙනියා. මම ගල්ටැංවැව පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. පස්සේ පෙතියාගල පිරිවෙනට ඇතුල් වෙලා අ.පො.ස. සා.පෙළත්, උසස් පෙළත් පාස් වුනා, දහම් පාසල් ධර්මාචාර්ය විභාගයත් පාස්වුණා. පස්සේ තරුණ වියේදීම විවාහ වුණා. දුවයි. පුතයි දෙන්නෙක් ඉන්නවා. දුව 11 වසරේ ඉගෙන ගන්නවා. පුතා 7 වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නවා. දෙන්නම ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට ගියේ ශිෂ්‍යත්වයෙන් ඉහළින්ම ලකුණු අරගෙනයි. ඔවුන් ඉගෙනීමට හරිම දක්ෂයි. ධර්මයටත් හරිම ලැදියි.

අපි නිතර නිතර නාගොල්ල ඓතිහාසික පන්සලට ගියා. මහමෙව්නාවටත් ගියා. බෞද්ධ විනය වර්ධන සමිතියටත් ආව ගියා. පස්සේ රේරුකානේ චන්දවිමල හිමි, උඩුදුම්බර කාශ්‍යප හි වාගේම නාඋනේ අරියධම්ම හිමිවරුන්ගේ ධර්ම පොත් කියෙව්වා. බිරිදත්, දරු දෙන්නත් ඒ පත පොත පරිශීලනය කෙරුවා. සසර ගමන දුකක්, බියක් බව අපි හැමෝම තේරුම් ගත්තා. ඒ අනුව මේ යන ගමන අපි යන්නේ අද ගැන හිතලා නෙමෙයි. අනාගත සසර ගමන ගැන හිතලයි." ඔහු පැවසීය.



ඔහුගේ බිරිද වූ සමුද්‍රකුමාරි අත්තනායක මහත්මිය කී කතාවයි මේ.

"මගේ උපන්ගම දිවුලපිටිය. හුණුපිටිය, කලමුල්ල විදයාලයෙන් අ.පොස සා.පෙළ මෙන්ම වාණිජ අංශයෙන් උසස් පෙළ සමත්ව සරසවියට යත්න ලකුණු හතක් මදි වුණා. රැකියාවකට යන්න තිබුණා. නමුත් ගියේ නැහැ, පවුලේ අයගේ ආශිර්වාදය මැද විවාහ වුනා, මහත්තයා විවාහ වෙන දිනයෙත් කිව්වා ඔයා බැන්දට මම කවදා හරි මහණ වෙනවා කියලා. එදා මමත් කිව්වා එහෙනම් එදාට මමත් එනවා කියලා. ඒක විහිළුවට කිව්වා කියා සිතුවාට ඒ සිහිනය වසර ගණනාවකට පසුව දරුවොත් එක්ක සැබෑ වෙනවා. ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා, දුව හා පුතා ශිෂ්‍යත්වය සමත් නිසා ශිෂ්‍යත්ව ආධාර දෙන්නටම ලැබෙනවා. සතයක්වත් අපි ගත්තෙ නැහැ. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් ඒ මුදල් අපි පාසලට පරිත්‍යාග කෙරුවා. අපි මේ ගමන යනවාට ගමේ බොහොමයක් කැමති නැහැ. ඒ අය කිව්වේ ඔය දෙන්නට ගිහි ජීවිතය කලකිරුණාට මේ ළමා වියේ දුවයි පුතයි ඉදිරියේදී සසුනට සමු දුන්නොත්, ඒ අයට යන්න එන්න ගෙදරක් නැති වෙයි. ඒ අයට යන කල දසාව මොකක්ද? ඒ නිසා ඔය ගමන දරුවන්ගේ කටයුතු නිම කරලා යන්න කියලා අපිව දැනුවත් කෙරුවා, නමුත් දරුවො දෙන්නා කීවා අපි එහෙම වෙන්නෙ නැහැ, මේ ගමන යමු කියා. ඒ අනුව ඉතිං අපි සසර ගමන කෙටි කරගන්න යනවා." ඇය කිසිදු පැකිලීමකින් තොරව පැවසුවාය. එසේ කී පවුලේ සාමාජිකයන් හතරදෙනාම මැල්සිරිපුර  නා උයනේ ආරණ්‍යෙ සේනාසනය වෙතට නව වසරේ ජනවාරි 01 වෙනි දින පෙරවරුවේදී නික්ම ගොස් අගුල්ගොමුවේ අරියනන්ද නාහිමියන් බැහැදැක දැහැත් වට්ටි පිළිගන්වා සසුන්ගත වීමට අවසර ඉල්ලා සිටියහ.

ගිහියෙකු පැවිදි දිවියට පිවිසීමට මත්තෙන් අනගාරික බ්‍රහ්මචාරී දිවිපෙවෙත ගතකොට භික්ෂුවක් හෝ භික්ෂුණියක් අනුගමනය කලයුතු ආකල්ප මොනවාද යන්න ප්‍රගුණ කළ යුතුය. එදා මෙදාතුර නෑදෑ පිරිස, හිතවතුන්, යහළු යෙහෙළියන් සමග මෙන්ම මව, පියා, දුව පුතා යන බැදීම්වලින්ද ඉවත්ව නාහිමියන්ගේ උපදෙස් මත පියා හා පුතු නාඋයනේ ආරණ්‍ය සේනාසනය තුළ රැදී සිටියදී මව හා දියණිය සසර ගමනේ එකට පැතූ පාරමිතාවක් සපුරාලීමට ඊට ඔබ්බෙන් පිහිටා ඇති ධම්මා මෙහෙණි ආරාමයේ වැඩවාසය කිරීම සඳහා නික්මුණාහ.
- සිසිර කැලේගම -