ගල්කිරියාගම දඹුලුගල්ල වැව ප්‍රදේශයේ නිවසක මඩුවක් තුළ බැඳ දමා තිබූ නිවසේ ඇතිදැඩි කළ සුනඛයකුට පෙරේදා (13 වැනිදා) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් ගල්කිරියාගම පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. 

සුනඛයා ඇති දැඩි කළ නිවැසියන් විසින් ඒ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දඹුලු හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.


වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ දරුවකු බයිසිකල් පදිමින් සිටියදී බල්ලා සපාකෑම නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

සුනඛයා ඝාතනය කළ ස්ථානයේ තිබී වෙඩි උණ්ඩ කිහිපයක් ද මේ වන විට පොලිස් බාරයට ගෙන ඇති අතර මියගිය සුනඛයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමට ද පොලිසිය කටයුතු කර තිබේ.

සැකකරු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති එම සුනඛයාගේ මවට ද සැකකරු මීට පෙර දිනකදී වෙඩි තබා ඝාතනය කර ඇති අතර තවත් අවස්ථාවකදී එම සැකකරුම තවත් සුනඛයකු පොහොර බෑගයක දමා පොළොවේ ගසා මරා දමා ඇති බවද පොලිසිය කළ පරික්ෂණවලින් හෙළි වී ඇත.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.සී. පෙරේරා මහතාගේ උපදෙස් අනුව උපපොලිස් පරික්ෂක ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරති. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ සැකකරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.


- කුෂාන් ජයවර්ධන -