ඉන්දියාව තුළ හෙට 16දා ආරම්භ කෙරෙන COVID-19 එන්නත්කරණය යටතේ රට පුරා ක්‍රියාත්මක ස්ථාන 5,000ක් පිහිටුවා ඇතැයි එම එන්නත්කරණ මධ්‍යස්ථානය පවසයි. මධ්‍යම රජයේ උපදෙස් සහ නිරික්ෂණය යටතේ මෙම එන්නත්කරණ ක්‍රියාත්මක කෙරේ. 
මේ අතරින් ඉන්දියාව තුළ වැඩිම COVID-19 ආසාදනයවීමක් වාර්තා වූ දිල්ලි අගනුවර තුළ එන්නත්කරණ ස්ථාන 89ක්  ස්ථාපිත කිරීමට දිල්ලි රජය පියවර ගෙන ඇතැයි  දිල්ලි නුවර සොඛ්‍ය අමාත්‍ය සත්යේන්දර් ජේයින් පවසා සිටියි. ඒ අතරින් ස්ථාන 40ක් රජයේ රෝහල් වන අතර, ස්ථාන 49ක් පෞද්ගලික රෝහල් වෙයි.  දිල්ලි නුවර ජනතාව වෙත ලබාදෙන එන්නත් තොගයේ පළමු කොටස පසුගිය අගහරුවාදා සහ බදාදා දිනයේදී දිල්ලි නුවර  වෙත ලැබී තිබේ.


මෙම එන්නත්කරණ  වැඩසටහන යටතේ දිල්ලි නුවර වෙසෙන සෞඛ්‍ය සේවකයන් සහ ඉදිරිපෙළ සේවකයන් වෙත මුල්ම එන්නත් ලබාදීම සිදුවෙයි. එසේම වයස අවුරුදු 50ට වඩා වැඩි පිරිස්  වෙතද එන්නත් ලබාදෙන බව පවසයි. මෙම ඉදිරි පෙළ පිරිස අතර ගුරුවරුන්ද අයත් වෙයි. මේ අතර දිල්ලි රජය දැනටමත් මෙම එන්නත්  නොමිලේ ලබාදෙන ලෙස මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය මගින් ඉල්ලීමක් කර තිබේ. යම් ලෙසකින් මෙම එන්නත් නොමිලේ ලබාදීමට එම මධ්‍යස්ථානය අපොහොසත් වන්නේ නම් සිය ආම් ආද්මි පක්ෂයේ මැදිහත්වීමෙන් එය නොමිලේ ලබාදෙන බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සදහන් කර තිබේ.