හොරණ කුළුපන බටුවිට පාරේ තෙමහල් ලැගුම්හලක් තුළ ඉහළ මහලේ කාමරයක ඇගලුම් සේවිකාවකගේ මළසිරුර විදුලි ලංකාවේ එල්ලෙමින් තිබියදී ඉකුත් දා (21) රාත්‍රී හමුවූ බව හොරණ පොලිසිය කියයි. මෙලෙස අබිරහස් ලෙස මියගොස් තිබුණේ ඉංගිරිය ඉසුරුපුර 6 වැනි පටුමග පදිංචිව සිටි මහේෂිකා කුමාරි සමරවීර (28) එක්දරු මවකි.
මියගොස් සිටි ඇඟලුම් සේවිකාව ඉකුත් (21) පෙරවරු 10.30 ට පමණ යතුරුපැදියකින් තනිවම එම ලැගුම්භල වෙත පැමිණ රුපියල් 1000 ක් ගෙවා පැය හයකට පමණ කාලයකට කාමරයක් ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.
ලැගුම්හලේ සේවකයන් ඇයට ඉහළ මාලයේ කාමරයක් ලබාදී ඇති අතර එයින් පැය දෙක තුනකට පමණ පසු යතුරුපැදියකින් පැමිණි පිරිමි පුද්ගලයකු ඇය සිටි කාමරය වෙත ගොස් ඇතැයි පොලිසිය කියයි. පැය හයකට අධික කාලයක් ගත වුවද පැමිණි කාන්තාව පිටවී නොගිය බැවින් ඒ පිළිබඳ ලැගුම්හල් සේවකයන් සොයාබැලීමේදී එම කාන්තාවගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැක ඒ බව පොලිසියට දැනුම් දුන් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඒ වන විට කාමරය වෙත පැමිණි පිරිමි පුද්ගලයා දකින්නට නොලැබුණු අතර ඔහු පිටවී ගිය වේලාවක් ලැගුම්හල් සේවකයන් නොදන්නා බවට ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා කීය.
මියගොස් සිටි කාන්තාව නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්ව ජීවත්වන තැනැනියක් බවත් ඇයට වයස අවුරුදු 9 ක දරුවකු සිටින බවත් සියදිවි නසාගන්නා බව සඳහන් ලිපියක් ඇයගේ නිවසේ තිබී හමුවූ බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණි හොරණ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන වීරසුරිය මහතා මළ සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙස නියෝග කළේය.
හොරණ ඇගිලි සටහන් නිලධාරින් සහ පානදුර අපරාධ ස්ථාන නිලධාරීහු පැමිණ පරික්ෂණ පැවැත්වූහ.
- බිමල් ශ්‍යාමන් ජයසිංහ -
0 Comments