ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව සිටින ජෝ බයිඩන් එම ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව යෙදන ලබන ජනවාරි 20දා වොෂිංටන් ඩීසී අගනුවර වෙත අමතර ආරක්ෂාවක් ලබාදෙන ලෙස එහි නගරාධිපතිනිය වන මුරියල් බොවිසර් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.


පසුගියදා වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ල ආශ්‍රිතව සිදුවූ දරුණු කලහකාරි හැසිරීම් තත්ත්වය පිළිබඳව සලකා බලා ඇය එරට අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම සිදුකර ඇත. පසුගිය ජනවාරි (06දා) සිදු වූ මෙම සිදුවීමෙන් පුද්ගලයෝ 5දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සාම්ප්‍රදායිකව මෙම කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්වෙන නව ජනපතිවරයාගේ පදවි ප්‍රාප්තිය අවස්ථාව සඳහා බොහෝ පිරිසක් සහභාගි වෙති. එහෙත් මෙවර නව කොරෝනා සෞඛ්‍ය තත්වය නිසා එය සීමා සහිත වනු ඇතැයි පැවසෙයි. කෙසේවෙතත් පසුගියදා සිදු වූ මෙම කලහකාරී හැසිරීමේදී මෙම උත්සවය සඳහා ඉදිකර තිබූ අට්ටාලද කඩා බිඳ දැමීමක් සිදුවී තිබේ.

මේ අතර නගරාධිපතිනිය විසින් වොෂින්ටන් ඩීසී අගනුවර තුළ දින 15ක හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇති අතර එය ලබන ජනවාරි 22දා දක්වා ක්‍රියාත්මක වෙයි. එසේම නගරාධිපතිනිය විසින් ජනවාරි 11 සිට ජනවාරි 24 දක්වා තමන්ට දෛනික ආරක්ෂක බුද්ධි අංශ වාර්තාවක් සපයන ලෙසට  FBI ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.