ධාතුසේන රජතුමා කර වූ බව කියන කලා බලලු වැව ආසන්නයේ රජයේ රක්ෂිතයේ ඇති මහ ගස් කොළන් කපා ඩෝසර් කිරීම දිගින් දිගටම සිදුවන බව ප්‍රදේශය බාර වනජීවී නිලධාරිහු පෙන්වා දෙති. ප්‍රාදේශීය ලේකම් සහ පලාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් දික්ඇදියාව  හා බළලු වැව ප්‍රදේශයේ රජයේ ඉඩම් අත්පත් කරගැනීමෙන් අලින් ගමන් ගන්නා මාර්ග ද විනාශ වී සතුන්ට ද බරපතළ ප්‍රශ්නයක් වන බව වනජීවී නිලධාරිහු පෙන්වා දෙති.
බළලු වැව හා දික්ඇදියාව ඉස්මත්තේ අලි මංකඩ මේ වනවිටත් විශාල භූමියක් ඩෝසර් දමා සුද්ධ පවිත්‍ර කොට ගිනි තබා තිබේ. එමෙන්ම එහි තිබූ වටිනා ගස් කොළන් වැල් ආදීය යන්ත්‍ර සූත්‍ර දමා කපා ගස් කුට්ටි කර ඇති අයුරු ද දැක ගැනීමට හැකි විය. මෙම රක්ෂිතය හෙළි පෙහෙළි කරන ආසන්නයේම තවත් පිරිසක් පලාගල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාදුන් බව පවසමින් යම්කිසි ඉදිකිරීමක් සිදු කරමින් සිටින අයුරු ද වනජීවී නිලධාරිහු පෙන්වා දුන්හ. එම ඉදිකිරීම සිදුකරමින් සිටින පිරිසගෙන් අප විමසීමේ දී කියා සිටියේ මෙම ඉදිකිරීම් කරන ස්ථානයේ අක්කරයක පමණ ඉඩම් භූමියක් ප්‍රාදේශීය සභාව මගින් ගම්මුන් හට සොහොන් භූමියකට ලබා දී ඇති බවය.

කෙසේ වෙතත් රජයේ රක්ෂිතය විශාල වශයෙන් එළි පෙහෙළි කර ඩෝසර් කර ගස් කොළන් කපා දමන්නේ කවුරුන් ද යන්න තමන් ඇතුළු කණ්ඩායම නොදන්නා බව ඔවුහු පෙන්වා දුන්හ. මෙම ස්ථානයේ කාලයක් තිස්සේ ඉතා ඝනව වැඩී තිබූ වනාන්තරයේ තිබූ කොහොඹ ගස් කපා මේ වනවිටත් ප්‍රධාන කඳ කොටස් රැගෙන ගොස් ඉතිරි දැව කොටස් යන්ත්‍ර සූත්‍ර දමා කුට්ටි කර රැගෙන යෑම සඳහා සූදානම් කර ඇති අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

මෙම විනාශය වාර්තා කිරීම සඳහා වනජීවි නිලධාරින් සමඟ
එම ස්ථානයට ගිය අවස්ථාවේ අවට පදිංචි පිරිසක් බව කියූ කණ්ඩායමක් පැමිණ කියා සිටියේ මෙම ස්ථානයේ සිදුකෙරෙන මහා පරිසර විනාශයන් නීති විරෝධී ක්‍රියාවලියන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා පොලිසිය, ග්‍රාම නිලධාරි ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පවා දැනුම් දුන්න ද රජයේ නිලධාරින්ගේ කිසිදු අවධානයක් නොවන බවය. රජයේ රක්ෂිත වෙනත් කණ්ඩායමක් අල්ලා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව ද මෙහිදී ගම්මු පෙන්වා දුන්හ. මෙම මහා පරිසර විනාශය ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම පිළිබඳව පලාගල ප්‍රාදේශීය ලේකම් අතුල බණ්ඩාර සෙනරත් මහතා දුරකතනය හරහා සම්බන්ධ කොට විමසීමේ දී කියා සිටියේ තමන් වහාම මේ පිළිබඳව සොයා බලන බවය. කිසිදු ඉදිකිරිමකට හෝ ඉඩම් අත්පත් කරගැනීමට හෝ අවස්ථාවක් ලබා දී නැති බව ද සෙනරත් මහතා පෙන්වා දුන්නේය.

 - කාංචන කුමාර ආරියදාස -