කොටදෙණියාව නාවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත දැවෙමින් තිබූ නාඳුනන මළසිරුර අතුරුදන් වූ හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මසිරි හිමියන්ගේ සිරුර බව එම සේනාසනයේ වැඩ වසන ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අධ්‍යාපනය ලබන ගල්නෑවේ සිරිධම්ම හිමියන් විසින් ඊයේ (04) රාත්‍රියේ හඳුනාගෙන තිබේ.
ධම්මසිරි හිමියන්ගේ නිකට දත් හා දින දෙකකට පෙර කැපූ නියපොතුවල ස්වභාවයෙන් උන්වහන්සේ සිරුර හඳුනාගත් බවද වාර්තා විය.
ඉකුත් දෙවැනි දා රාත්‍රි එම සේනාසනයට කඩාවැදුණු දස දෙනකුට අධික පිරිසක් එම හිමිනමට පොලුවලින් පහර දී වෑන් රථයක දමාගෙන පැහැරගෙන ගොස් තිබිණ.
කොටදෙණියාව - මීරිගම මාර්ගයේ පොදු සුසාන භූමියේ මළසිරුරක් මිහිදන් කළ වළක් මත තව මළසිරුරක් දැවෙන බවට කොටදෙණියාව පොලිසියට ලද තොරතුරක් අනුව සිරුර සොයාගෙන තිබිණි.
කන්වලින්, මුඛයෙන් හා නාසයෙන් ලේ ගලන තුවාල සහිතව තිබූ එම මළ සිරුරේ මුහුණ දැඩිලෙස පිලිස්සී තිබූ අතර පිරිමි පුද්ගලයකුගේ සිරුරක් බවට සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
කොළ පාටට හුරු ඇඳ ඇතිරිල්ලකින් මළසිරුර ඔතා තිබූ බවත් එය අඩි පහක් පමණ උසින් යුක්ත පුද්ගලයකුගේ බවත් විමර්ශනවලදී වැඩිදුර හෙළිවී තිබූ අතර හිස බූ ගා තිබූ බව දැක ගැනීමට හැකි වූ නිසා හිමි නමකගේ බවට සැකය පැනනැගිණි.
මිනුවන්ගොඩ අතිරේක මහෙස්ත්‍රාත් ඉන්දිකා රත්නායක මහත්මිය ඊයේ සවස මළසිරුර දැවී තිබූ ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව දේහය හඳුනා ගැනීම සඳහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස පොලිසියට නියම කළාය.
කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට පිරිසක් සමඟ එසේ කඩා වැදී එහි සිටි පිරිස දණගස්වා එහි වැඩ විසූ 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන්ට පහරදී අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු හොරණ කිරිගලහේන මීගැත්තර ප්‍රදේශයේදී ඊට යොදාගත් බව කියන වෑන් රථයක්ද සමඟ ඊයේ (04දා) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු එම ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ 12 හැවිරිදි සාමණේර
හිමිනමකගේ පියා බව පොලිසිය කියයි.
සැකකරුවන් මෙම ආරණ්‍ය සේනාසනයට එලෙස කඩා වැදී ඇත්තේ පොලිස් නිලධාරීන් බව හඟවමින් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. එලෙස පැමිණි පිරිස අතර හොරණ, මිල්ලනිය පොලිසියේ කාන්තා පොලිස් සැරයන්වරියකගේ සැමියාද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඉකුත් දෙවැනිදා රාත්‍රි 11ට පමණ අත්අඩංගුවට ගත් එකී සැකකරු ඔහුගේ බිරිය ඇතුළු පිරිසක් සමඟ මෙම ආරණ්‍ය සේනාසනය වෙත පොලු, මුගුරු රැගෙන වෑන් රථයකින් කඩාවැදී හිමිනමට පහරදීමෙන් අනතුරුව එම ආරණ්‍ය සේනාසනයේ කාමරයක නිදා සිටි එකම පවුලේ පියකුට සහ පුතකුට ද තර්ජනය කර ඔවුන් දණගස්වා විදුලිය විසන්ධි කර පහරදුන් හිමිනමද පැහැරගෙන පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
එම ආරණ්‍ය සේනාසනයේ අතුරුදන් වූ හිමිනම සමඟ තවත් හිමිවරුන් පස්දෙනකු වැඩවසන අතර සිද්ධිය වන අවස්ථාවේ සිට ඇත්තේ වයස අවුරුදු 70ක පියා හා 33 හැවිරිදි ඔහුගේ පුතා බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
කලකට පෙර මෙම ආරණ්‍ය සේනාසනයේ මහණ වී සිටි එම පුතු කහවත්ත ප්‍රදේශයේ සිට පියා සමඟ එහි පැමිණ ඇත්තේ යළි මහණ වීමේ බලාපොරොත්තුවෙන් බවත් එදින රාත්‍රි එහි ගත කරන අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බවත් පොලිසිය කියයි.
එම සිද්ධිය වී මඳ වේලාවකට පසු මාවනැල්ල ප්‍රදේශය බලා වැඩම කොට සිටි එම ආරණ්‍ය
සේනාසනයේ වැඩ වාසය කරන හිමිනමක් පැමිණ ඇති අතර සිතට දැනුණු බිය හේතුවෙන් පිය පුතු දෙපළ සිදුවුණු සිද්ධිය එම අවස්ථාවේදී එම හිමිනමට පවසා නැති අතර තිදෙනාම නින්දට ගොස් පසුදින අලුයම අවදි වීමෙන් අනතුරුව පෙරදින වූ සිද්ධිය හිමිනමට පැවැසීමෙන් අනතුරුව එම හිමිනම විසින් හංවැල්ල පොලිසියට පෙරේදා (03දා) මෙම සිද්ධිය පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියා කීය.
වෑන් රථයෙන් කඩාවැදුණු පිරිස හිමිනමට පහරදීමෙන් අනතුරුව පිය පුතු දෙපළ දණ ගැස්සීමට පෙර ඔවුන් අත තිබූ ජංගම දුරකථන ද ඔවුන් භාරයට ගෙන එහි සිම් කාඩ්පත් කඩා දමා විදුලිය විසන්ධි කර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
මීට වසර තුනකට පමණ ඉහතදී 9 වැනි වියේ පසුවූ හොරණ කිරිගලහේන මීගැත්තර ප්‍රදේශයේ සාමණේර හිමි නම සිවුරු හැර දමා නිවෙසට ගොස් ඇති අතර මීට මාස එකහමාරකට පමණ ඉහත දී යළි ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ අසනීප ගතියක් තිබෙන බව පවසා මීට දින කිහිපයකට ඉහතදී නිවෙස කරා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
යළි මහණ වීම සඳහා පියා සමඟ පැමිණි තිස්තුන් හැවිරිදි පුද්ගලයාද මීට වසර කිහිපයකට පෙර මහණ වී ආරණ්‍ය සේනාසනයේම සිටි අවස්ථාවේදී හොරණ පොලිස් වසමේ කිරිගලහේන මීගැත්තර ප්‍රදේශයේ
සාමණේර හිමිනමකගේ මව හා පියා දැක තිබේ. අතුරුදන්ව සිටින හිමිනමට පහරදීමට පැමිණි පිරිස අතර ඔවුන් දෙදෙනාද සිටි බව පොලිසියට සිදුකළ ප්‍රකාශය පරිදි දීර්ඝ විමර්ශනයේදී මෙම සැකකරු
අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් කීය.
හංවැල්ල පොලිසියේ නිලධාරීන් එම නිවෙස කරා යන අවස්ථාවේදී සාමණේර හිමිනමගේ මව සහ පියා
නිවෙසේ නොසිටි අතර යතුරුපැදියක් එහි තිබී ඇති අතර ඒ පිළිබඳව විමසීමේදී එම යතුරුපැදිය මිල්ලනිය පොලිසියේ කාන්තා සැරයන්වරියගේ සැමියාගේ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඉකුත් තුන් වැනිදා රාත්‍රියේ උන්වහන්සේ වෙසෙන ආරණ්‍ය සේනාසනයට පැමිණ පහරදී උන්වහන්සේ
පැහැරගෙන ගියේ උන්වහන්සේ සතුව තිබූ මුදල්, බැංකු කාඩ්පත් සහ ලියකියවිලි කිහිපයක්ද සමඟය.
සිද්ධියට සම්බන්ධ බව කියන 12 හැවිරිදි සාමණේර හිමියන්ගේ මව ඇතුළු පිරිස සොයා පරීක්ෂණ සිදු වන අතරතුර කුඩා සාමණේර හිමිනමගේ පියා පොලිසිය සොයන බව දැනගෙන සිය වෑන් රියද සමඟ
හංවැල්ල පොලිසියට භාරවී ඇත.
උඩුවිල ධම්මසිරි හිමියන්ගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිසියට භාර වූ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.
කෙසේ වෙතත් තවත් පොලිස් කණ්ඩායමක් දුරකථන අංක කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකර තවත් පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව විමර්ශන මෙහෙය වන නිලධාරියෙක් කියයි.
මේ අතර මෙම පැහැර ගැනීම මුදල් සොරා ගැනීමක් ලෙස හැඟවීම සඳහා ක්‍රියා කර ඇති නමුදු
පැහැර ගැනීමට හේතුව ධම්මසිරි හිමියන් හා කුඩා හිමිනම අතර ඇති වූ ප්‍රශ්නයක් බව හෙළි වී තිබේ.
ධම්මසිරි හිමියන් විසින් තමාට නොයෙකුත් හිරිහැර කරන බව කුඩා හිමිනම සිය මවට පැවැසීමත් ජංගම දුරකථනයක සටහන් වූ රූපරාමු ඇයට පෙන්වීමත් නිස උරණ වූ පාර්ශ්වයක් ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියේ සැකය වී තිබේ. තවදුරටත් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
0 Comments