නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස   පොලිස් සේවයට බදවා ගැනීමට පියවර ගෙන තිබේ.මහජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා මෙම කටයුත්ත කරනු ලබන බව අධිකරණ අමාත්‍යංශය වාර්තා කරයි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති තුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව මගින් මහ ජනතාවට නීතිමය වශයෙන් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම ලෙස ලබාදීමේ අරමුණින් පොලිස් දෙපාර්තමේන්තුව සදහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස  නීතිඥයින් 150 දෙනෙකු බදවා ගැනීමට තීරණය කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.


ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමාගේ

ප්‍රධානත්වයෙන් අද (11 ) අධිකරණ අමාත්‍යාංශයේදි පැවති අතර එම සාකච්ඡාව සදහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර ,ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.


අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඔවුන් පොලිස් සේවයට බදවා ගැනීමට නිමිත අතර ඔවුන් සතුව පවතින දක්ෂතාවය අනුව උසස්වීම් ලබා ගැනීමේ හැකියාව පවතියි.
බදවා ගැනීමෙන් පසුව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිත අතර ඔවුන්ට නීතිය හා පොලිස් සේවය පිළිබදව විශේෂ පුහුණුවීම් ලබාදීමට නියමිතය.
එම පුහුණුවීම් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව ද එකග වී ඇත.
නීතිය ජනතාවට තවදුරටත්  සමීප කරවීම, පොලිස් දෙපාර්තමේන්තුව හරහා සිදු වන නීතිමය කටයුතු තවදුරටත් විධිමත් පරිදි සිදු කිරීම මෙහි අරමුණ බව අධිකරණ අමාත්‍යතුමා මෙහිදි සදහන් කළේය.


ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බදවා ගනු ලබන මෙම නීතීඥවරුන් දෙමළ භාෂාව පිළිබදව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකම් ලෙස සලකා බැලිය යුතු බවත්, ඒ තුළින් දෙමළ භාෂාව කථා කරනු ලබන ජනතාව දිනා ගැනීමේ හැකියාව පවතිව බවත් අධිකරණ අමාත්‍යතුමා පැවසීය.
තාක්ෂණය පිළිබදව දැනුම ඔවුන්ට පැවතීම අවශ්‍ය වන අතර අදාළ පුහුණුවීම් නිම වීමෙන් අනතුරුව ඔවුන්ව සේවා අවශ්‍යතාවයන් අනුව අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.