ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ 28 දින රාත්‍රියේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ප්‍රධානත්වයෙන් පැවැත්විණි.




 පූජ්‍ය ඥාණසාර හිමි එහිදී අනුශාසනාවක් කරමින් මෙසේ කියා සිටියහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැ දකින්න ආවම, උන්වහන්සේ ඇහුවා, අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත්පතා ආශිර්වාද පිංකමක් කරන්න ඕන කියලා. මම කිව්වා අපි එතුමාට සෙත් පතන්නෙ නැතිව වෙන කාට සෙත් පතන්නද කියලා, අපි අහල තියෙනවා අතීතයේ එළාර ගැන දුටු ගැමුණු ගැන. අවුරුදු 44ක් එළාර මේ රට පාලනය කෙරුවා. දුටු ගැමුණු කියන රුහුණෙ පුත්‍රයෙක් ඇවිල්ලා අවුරුදු 44ක් අපිව පාගගෙන හිටපු එළාරගෙන් මේ රට බේරා ගත්තා.අවුරුදු 30කට පස්සෙ රුහුණෙන් ආපු මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන්ට උත්තරය දීලා එළාරගෙන් රට බේරා ගත්ත වගේ අවුරුදු 30කට පස්සෙ මේ රට එක්සේසත් කළා.

 පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේ මෙහිදී මේසේ කීහ.

මේ රටේ පහල වූ ජන නායකයන් අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා හැරුනම යන යන තැනට ජන ගඟක් ගලන්නෙ අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාටයි. එය අතිශෝක්තියක් නෙමෙයි. කාටවත් ඒක නෑ කියන්න බැහැ. එදා ඉදන් ජන හදවත්වල ජීවත්වුණ ජන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා.