මුහුද ගොඩගැලීමෙන් ඊයේ 31 වැනිදා අලුයම මුතුපන්තිය දූපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි. හදිසියේ ඊයේ 31 වැනිදා අලුයම එකවර මුහුදු රළ මුතුපන්තියේ කඩා වැදී ඇති බව ධීවර ජනතාව පැවසූහ. මෙම මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැද ඇති අතර ඒ හේතූවෙන් මුතුපන්තියේ සුසාන භූමිය සම්පූර්ණයෙන් යටවී තිබූ බවත් ඒ සමගම මුතූපත්තිය දූපත ආරක්ෂාවට යොදා තිබූ ගල් වැටි ද මුහුදට ගසාගෙන ගොස් ඇතැයි ධීවරයෝ පවසති.
මුහුදු රළත් සමග ගලා ආ අපද්‍රව්‍ය විශාල වශයෙන් නිවෙස් ආසන්නයේ ගොඩ ගැසී ඇති බව ධීවරයෝ පවසති.
ධීවරයන් පවසන්නේ සුනාමිය පැවති අවස්ථාවේ දී පවා මෙවැනි මුහුදු රළක් තම දූපතට ගලා නො ආ බවයි. මුතුපන්තිය ග්‍රාමීය සංවිධානයේ සභාපති රෝෂාන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව මෙසේ සඳහන් කළේය.
“මේ තත්වය කිසිම දවසක අපේ දූපතට බලපා තිබුණේ නැහැ. ඇත්තටම මේක හිතා ගන්න බැරි තරමට මුහුදු රළ ඉහළ ගොස් ආරක්ෂාවට යොදා තිබූ ගල් වැටිවලටත් ඉහළින් මුහුදු රළ දූපතට ගලා විත් තිබුණා. මෙය හිතා ගන්න බැරි දෙයක්. කාලගුණ අංශවලින්වත් මෙහෙම මුහුද සැර වෙනවා කියලා දැනුවත් කර තිබුණේ නැහැ” යැයි ඔහු පැවසීය. සිද්ධිය වාර්තාවීමත් සමග පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරිහු හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිහු ද එම ස්ථානයට පැමිණ සිටියහ.
- හිරාන් ප්‍රියංකර ජයසිංහ -
0 Comments