බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක COVID-19 එන්නත්කරණ වැඩසටහනේදී ජනතාව වෙත එන්නත් වර්ග දෙකක් ලබාදීම පිළිබඳව එරට සෞඛ්‍ය බලධාරින්ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් මතුව තිබෙන බව වාර්තා වෙයි.  මෙවැනි මිශ්‍ර කිරීමක් හරහා ජනතාව තුළ එම එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය උපරිමව ලැබෙන්නේද යන්න පිළිබද ගැටලුව ඊට හේතු වී තිබේ. නව අවුරුදු උදාවත් සමග බ්‍රිතාන්‍යය නිකුත් කර තිබූ උපදෙස් අඩංගු නිවේදනයකට අනුව යම් ලෙසකින් දැනට එන්නත්කරණය සදභා
භාවිත කරන එන්නත් මාත්‍රාවල හිඟතාවක් ඇති වුවහොත් මෙලෙස එක් පුද්ගලයෙකු වෙත එන්තත් වර්ග දෙකක් ලබාදීමේ සූදානමක් පවතින බව සඳහන්ව තිබුණි. මෙම එන්නත්කරණය යටතේ පළමු එන්නත් මාත්‍රාව ලබාදී දින 21ක් ඇතුළතදී දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදිය යුතුව ඇත.

"මේ එකම එන්නත රට තුළ නැති වුණත්, එහෙමත් නැත්නම් පළමු එන්නත රට වෙත ගෙන්වා ගැනීමට නොහැකි වුණත්, මේ එන්නත්කරණය සම්පූර්ණ කිරීම සදහා එම අවස්ථාවේදී රට තුළ තිබෙන එන්නතක් යොදාගැනීමට අදහස් කරනවා.” බ්‍රිතාන්‍යය මෙහිදී පවසා ඇත.

කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවකට පත්වීම අතිශය දුර්ලභ අවස්ථාවක් වෙනු ඇතැයි එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රතිශක්තිකරණය පිළිබද අංශ ප්‍රධානී මේරී රැම්සේ පවසයි. එසේම කිසිවිටෙකත් මෙම එන්නත් මිශ්‍ර කිරීමක් අනුමත නොකරන බවත් ඇය පවසා තිබේ.