පානදුර පල්ලිමුල්ල හන්දියේදී ඉකුත් දා ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි ධීවරයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වැලිකඩ බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'සුද්දා' නමැත්තා විසින් මෙහෙයවනු ලැබ ඇති බවට හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.
සැකකරුවන් දෙදෙනා එම ඝාතනය සඳහා භාවිතා කළ ටී 56 ගිනිඅවිය, පතරොම් 17ක් සහ මැගසිනයක් පානදුර එළුවිල වඳුරාමුල පොදු සුසානභූමියේ දිරාගිය ලී කොටයක් තුළ සඟවා තිබියදී පොලිසිය විසින් 28 පස්වරුවේ සොයාගනු ලැබීය.
බන්ධනාගාරයේ සිටින සුද්දා නමැති සැකකරු දුන් කොන්ත්‍රාත්තුවක් මත, පානදුර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු විසින් මෙම ඝාතනය සිදුකරන ලද බවට තොරතුරු හෙළිවී ඇතැයි කීවේය.
සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති බවත් ඔවුන් ඉදිරි පැය කිහිපය තළ නීතිඥවරයකු මාර්ගයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට බාරවීමට නියමිත බවත් පොලිස් ආරංචිමාර්ග කියයි.
ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය බොල්ගොඩ ඌරාකඩුව ප්‍රදේශයන් ගඟට දමා ඇති බවට තොරතුරු හෙලිවී ඇති අතර එම යතුරු පැදිය සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් හා කිමිදුම් කණ්ඩායම් ඊයේ පස්වරුවේ සිට මෙහෙයුම්වල නිරත වී සිටින බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.
ඝාතන සිද්ධිය වන අවස්ථාවේ ධීවරයා සමග ත්‍රිරෝද රථයේ පිටුපස අසුන් ගමන් ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 'චතු' නමැත්තා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමෙන් පසුව ඊයේ මුදාහැර තිබිණි.
වෙඩික්කරුවන් දෙදෙනාට ඝාතනයට පෙර ගල්කිස්ස නිවසක දින පහක් නවාතැන් දුන් සැකකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු හෙලිවීමත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පත්කර සිටි විශේෂ පොලිස් කණ්ඩායම් පහක් ඊයේ පස්වරුවේ පරික්ෂණවලින් මුදාහැර ඇත. තලංගම, බම්බලපිටිය, වෙරළබඩ, පමුණුගම යන පොලිස් ස්ථානාධිපතිවරුන් හා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ පරික්ෂණ කණ්ඩායම් පත්කර තිබිණි.
සිද්ධිය වූ දින මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වලාන ගැමුණු මාවතේ පදිංචි තිස්තුන් හැවිරිදි ලක්ෂාන් සඳකැළුම් නමැති දෙදරු පියෙකි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, ගල්කිස්ස කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න, පොලිස් අධිකාරි උදය සමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ .
- ඉන්දිකා රාමනායක -
0 Comments