කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.
පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි.  දිනකට  ගමන් වාර 64ක් සිදු කෙරේ.
නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමා එහි පහසුකම්  නිරීක්ෂණ කළේය.
 ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ  (OREL UNMANNED STORE) ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.
( ඡායාරූප : ශාමික වක්වැල්ල - ජනාධිපති මාධ්‍ය අංශය)