කෝවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් මත හෝටල් පවත්වාගෙන යන්නේදැයි පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොළඹ කාර්යාලයකින් පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව හඟවමින් හෝටල් හිමියන්ගෙන් දහස් ගණනින් මුදල් වංචා කළ බව කියන සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව බදුල්ල පොලීසිය පවසයි.
සිවිල් ඇඳුමින් සැරසුන තිදෙනෙකුගෙන් යුත් මෙම කල්ලිය සිය හෝටලය පරික්ෂා කර අඩුපාඩු පෙන්වා ඒවා සකස් කරගන්නැයි උපදෙස් දී පිටව ගිය බවත්, පසුව දුරකථනයෙන් අමතා අඩුලුහුඩුකම් නොපෙන්වා අදාළ සෞඛ්‍ය ප්‍රමිති සහතිකය ලබාදීම සඳහා රුපියල් 45,000ක මුදලක් ඊෂි කෑෂ් ක්‍රමයට එවන ලෙස දුරකථන අංක 5ක් එවූ බවත් බදුල්ලේ හෝටලයක කළමනාකරු විසින් බදුල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.
හෝටල් හිමියාගේ උපදෙස් මත මෙම ගැටලුවෙන් මිදීම සඳහා තමා මුදල ඊෂි කෑෂ් ක්‍රමයට අදාල අංක 5ට බැරකළ නමුත් ඇති වූ සැකයක් මත පොලීසියට පැමිණිලි කළ බවද ඔහු පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මේ කූට ජාවාරම සඳහා යොදාගත් දුරකථන අංක ,මියගිය පුද්ගලයන්ගේ හැදුනුම්පත් උපයෝගි කරගෙන ලබාගත් ඒවා බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත, සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම යටතේ බදුල්ල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනක රණසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
-පාලිත ආරියවංශ -
0 Comments