පිළියන්දල හැඩිගම දම්පර ගහවත්ත ප්රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදී එක්දරු වයෝවෘද්ධ මවක ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 35ක පුද්ගලයෙකු සැකපිට ඊයේ (5) ගල්කිස්ස බල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. ඉකුත් 31 වැනි දින රාත්රියේ දී මෙලෙස ඝාතනයට ලක් වූයේ වයලට් ප්රනාන්දු යන අයයි.
සැකකරු ඝාතනයට යොදාගත් බව කියන උල් පිහිය සහ සැකකරු එම අවස්ථාවේ හැඳ සිටි බව කියන ඇඳුම් ද පොලිසිය සොයාගෙන ඇත.
හෙරොයින් මත්කුඩුවලට තදින් ඇබිබැහීව සිටින සැකකරු වසර හතරක් සිරදඬුවම් විඳිමින් සිට මීට මාස තුනකට පමණ ඉහත දී නිදහස්ව පැමිණි පුද්ගලයෙකු බවද පොලිසිය කියයි.
මුදල් හෝ කිසියම් වටිනා භාණ්ඩයක් සොරා ගැනීමේ අදහසින් ඉකුත් 31 වැනිදා රාත්රියේ දී සැකකරු මෙම නිවසට ඇතුළු වන අවස්ථාවේදී ඝාතනයට ලක්වූ කාන්තාව පමණක් නිවසේ සිට ඇති අතර ඇයගේ එකම පුතු මිතුරකුගේ සාදයකට සහභාගිවීම සඳහා නිවසින් පිටවී ගොස් ඇති බව විමර්ශන වලදී හෙලි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකරු නිවසට ඇතුළු වන අවස්ථාවේ වයෝවෘද්ධ කාන්තාව රූපවාහිනිය බලමින් සිට ඇති අතර, ඇය ඔහු දැකීමත් සමගම කලබල වී සැකකරු බදාගෙන කෑ ගැසීමට උත්සාහ කිරීමේදී සැකකරු ඉනේ තිබූ උල් පිහිය ඇයගේ ගෙලට තබා බිය ගැන්වීමට උත්සාහ දරා ඇති අතර එයින් ගැලවීම සඳහා කාන්තාව උත්සාහ කිරීමේදී ඇගේ ගෙල කැපී බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
එක් අවස්ථාවක වයෝවෘද්ධ කාන්තාව සැකකරුට මන්නයකින් පහර දීමට උත්සාහ දරා ඇතැයිද සැකකරුගේ ප්රකාශයකින් හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් කීය. බරපතළ තුවාල ලද කාන්තාව මුළුතැන්ගෙයි ඇද වැටුණු පසු නිවසේ අල්මාරි සහ කබඩ් අවුස්සා ඇති සැකකරු එහි තිබූ රුපියල් 2700 මුදලක් ගෙන නිවසට ඇතුළු වූ ඉදිරිපස දොරින්ම පිටවී ගොස් ඇති බවද පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස ආසනයේ පදිංචිව සිටින සැකකරු සිද්ධියෙන් අනතුරුව නිවසට ගොස් ලේ තැවරුණු ඇදුම් සෝදා අනතුරුව ලේ තැවරුණු උල් පිහිය බොල්ගොඩ ගඟට විසි කර තිබූ බවත් ඔහුගේ ප්රකාශ මත එම උල් පිහියද සොයා ගත් බවත් පොලිසිය කියයි.
- එච්.එම්. ධර්මපාල -
0 Comments