රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා "හෑෂ් ඔයිල් " නැමති මත්ද්‍රව්‍ය විශේෂයක් සමග පුද්ගලයකු මහරගම ඇරැව්වල වෙල්යායක් අසලදී පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි . 31 හැවිරිදි සැකකරු පැලැන්වත්ත පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



මෙවැනි නාමයකින් හඳුන්වන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එම සැකකරු සමග හෑස් ඔයිල් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් පහක් හා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

පන්නිපිටිය පැලැන්වත්ත පුද්ගලයෙක් මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ ඩුබායි සිටින පුද්ගලයෙකුට අමතා මෙම මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කර ගත් බවත් ඒ සදහා ලක්ෂ 35ක මුදලක් ලබා දුන් බවත් රුපියල් ලක්ෂ 60ක පමණ මුදලට මේවා අලෙවි කිරීමට හැකි බවත් සකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය. 

රාත්‍රී සමාජ ශාලාවල මෙම මත්ද්‍රව්‍යවලට ඉහළම ඉල්ලුමක් පවතින බවත්, ඇමරිකාවේ සහ ඇෆ්ගනිස්ථානයේ මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවත් "ටෙට්ට්‍රා හයිඩ්‍රොකැනබිනොල්" නොහොත් හෑස් ඔයිල් නමැති මත්ද්‍රව්‍ය විදේශ රටවල හදුන්වන්නේ "ටි එච් සි "යන කෙටි නමින් බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ. සැකකරු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

 

සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ඇතුලත්මුදලි මහත්වරුන්ගේ උපදෙස් මත උපපොලිස් පරික්ෂක සාලිය ඒකනායක මහතා ඇතුළු නිලධාරි පරික්ෂණ පවත්වති.
- බිමල් ශ්‍යාමන් ජයසිංහ -