වයස අවුරුදු 11ක සිසුවකුගේ දස්කමක් නිසා මහා පරිමාණ මුදල් වංචා කිරීමක යෙදී සිටි දෙදෙනකු කොටු කර ගැනීමට හැකි වීමේ පුවතක් පූජාපිටියෙන් වාර්තා වෙයි. පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මැදවෙල ප්‍රදේශයේ නිවෙසකට විදුලි උපකරණ ගෙවීමේ ක්‍රමයට ලබා දෙන ආයතනයකට කිහිප දෙනකු පැමිණ ඇති අතර ඔවුන්ගෙන් රුපියල් 50,000 ක පමණ විදුලි උපකරණ ලබාගෙන මුදල ගෙවාද අවසන් කරනු ලැබ තිබේ.
 

එම ගනුදෙනුව අවසන් වී ටික දිනකට පසුව යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු යතුරු පැදිය නිවසේ සිට මීටර් 100 ක් පමණ දුරකින් නවත්වා අනෙක් තරුණයා එම නිවසට පැමිණ නිවැසියන්ගෙන් විමසා ඇත්තේ ආයතනයකින් විදුලි උපකරණ මිලට ගත්තේ ද යන්නයි.

එලෙස තමන් භාණ්ඩ ගත් බව නිවැසියන් පැවසීමෙන් පසුව එම භාණ්ඩ මිල දී ගැනීම වෙනුවෙන් කරනු ලැබූ ලොතරැයි ඇදීමකින් යතුරුපැදියක් ඇදී ඇති බවත් එහි ලියා පදිංචි ගාස්තු වශයෙන් රුපියල් 12,950 ක මුදලක් ගෙවිය යුතු බවත් පවසා තිබේ. මේ ගැන සැකයක් නොසිතූ නිවැසියන් එම තරුණයාට රුපියල් 12,950 මුදලක් ලබා දී තිබේ. මේ අවස්ථාවේ ඒ අසල සිටි නිවෙස් හිමියාගේ මුනුපුරා වන හයවැනි වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 11ක් පමණ වන දරුවා ජංගම දුරකතනයකින් මෙලෙස පැමිණි දෙදෙනා සහ යතුරු පැදිය ඡායාරූප ගෙන තිබේ. පසුව මෙය වංචාවක් බව දැන ගැනීමත් සමග පොලීසියට පැමිණිලි කරනු ලැබූ අතර කුඩා සිසුවා ලබාගත් ඡායාරූප උපයෝගී කර ගෙන අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි යතුරු පැදිය ද පොලිස් බාරයට ගෙන තිබිණි.

සැකකරුවෝ ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති. මෙලෙස මුදල් වංචා කරමින් නිවෙස් වෙත යන්නේ අදාළ ආයතනයේ කලක් සේවය කර සේවයෙන් ඉවත් කළ පුද්ගලයන් දෙදෙනකු බව පසුව අනාවරණය වී තිබේ.


- මොහොමඩ් ආසික් -