විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වරදකරු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 සිර දඬුවමක් නියම කරනු ලැබුවේය.
 

රංජන් රාමනායක මන්ත්‍රීවරයා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.
2018 වසරේ අගෝස්තු මස 21 වන දා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.

හිටපු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය තුළින් ඔහු මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ හැරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන සුනිල් පෙරේරා යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිලි පදනම් කරගෙන නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේය.


අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් පසුව  හතර වතාවක් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුළදී වගඋත්තරකාර රංජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් ඉවත් කර නොගන්නා බවට අවධාරණය කර ඇතැයි ද අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා ඉන් පසුව පසුගිය ජූලි මාසයේදී පෙන්වා දුනි.

"මං කියපු මතය ඉවත් කරගන්නේ නෑ"...  "ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් මගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ නෑ"..යනුවෙන් එම ප්‍රකාශ තුළින් ඔහු කරුණු දක්වා ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මේ හරහා ඔහු තමන් මුලින්ම සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ඇතැයි ද, පෙන්වා දුනි.

මෙම නඩුවේ විභාගය පසුගිය අගොස්තු 25 අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරිම පසුව කල් තබා තිබූ අතර අවසන් තීන්දුව අද ලබාදුන්නේ ඔහු වැරදිකරු කරමිනි.

මේ වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට රන්ජන්ට අවස්ථාව ඇතත් ඔහු එය ඉදිරිපත් කරාවිද යන්න සැක සහිතය.මින් ඉහත නව රජය බලයට පත්වූ අලුත පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඇතිවූ සිද්ධියක් පදනම් කරගෙනද රන්ජන් ටික කාලයක් සිරගතව සිටියේය.
අද තීන්දුවෙන් පසු රන්ජන්ට බන්ධනාගාරයේ රැඳෙන්නට සිදුවන නිසා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා මාස 3 ක් සහභාගී නොවුනොත් රන්ජන්ගේ මන්ත්‍රීධූරය අහෝසිවීමේ ඉඩක්ද පවතී.මින් ඉහත සරත් ෆොන්සේකාට 2010 දී එය සිදු විය.
කෙසේ වෙතත් අධිකරණයේ මරණ දඩුවම ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතාද තවම පාර්ලිමේන්තුව නියෝජනය කරයි.