වැලි කැපීමේ බලපත්‍ර ඉල්ලා අයදුම්පත් 67ක් ඉදිරිපත් කළ දේශපාලනඥයකුගේ බෑනාට එම වැලි කොළඹට  ගෙන ඒමට
දුම්රියක් යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමෙන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. එසේ යොදවන ලද දුම්රියෙන් පොලොන්නරුවේ සිට කොළඹට වැලි අදින්නට දේශපාලනඥයාගේ බෑනා කටයුතු කරමින් සිටින බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.  එම දුම්රිය පුද්ගලික අවශ්‍යතාවක් සඳහා යොදවා ඇති  බැවින්, වහා එය අවලංගු කරන්නැයි ඉල්ලමින් දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති රැසක් දුම්රිය බලධාරීන්ට ලිපි යවා ඇතැයි එම වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.


මෙම දූෂණ නවත්වන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරින්ට ද ලිපියක් යැවූ බව එම නියෝජිතයෝ පැවැසූහ.  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනම්පිටිය ඇතුළු වැලි නිධිවලින් වැලි කපා කොළඹට ගෙන ඒම සඳහා මෙම

තැනැත්තා පරිසර අමාත්‍යාංශයෙන් බලපත්‍ර ඉල්ලා අයදුම්පත් 67ක් ඉදිරිපත් කර ඇති අතර, එයින් අටකට මේ වනවිට බලපත්‍ර ලබාදී තිබේ.  මෙසේ එක් පුද්ගලයකුට වැලි බලපත්‍ර විශාල ගණනක් ලබාදී දුම්රියක්ද වැලි ඇදීම සඳහා ලබාදී ඒකාධිකාරියක් පවත්වාගෙන යාමට ඉඩ ඇති කිරිම පිළිබඳව ද සොයා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද ඔවුහු පැවැසූහ.


-වීනිතා එම්. ගමගේ-